කුලයෙන් හා ආර්ථිකයෙන් බැටකමින් ජීවිත ගොඩ නගන මානාවේ කාන්තාවෝ – ( පුෂ්පා වීරසේකර )

කුලියාපිටිය මානාව වනාහි කුලපීඩන තත්වය නිසා   අතීතයේදී වෙනස්කමකට ලක්වූ ගමකි. වර්තමානයේදි එම තත්ත්වයන් වෙනස්ව තිබුණද මෙහි වැසියන්ගේ සමස්ත දියුණුව ගතහොත් සාපේක්ෂව මන්දගාමීය.  මෙහි පවුල් 196ක් පමණ ජීවත් වන අතර නිවාස 190කි. එයින් ස්ථිර නිවාස 140ක් පමණ වේ. මෙහි පිරිමි බොහෝ දෙනෙකුගේ රැකියාව පරණ යකඩ, ප්ලාස්ටික්, වීදුරු යනාදිය එකතු කිරීමය. එය  මානාවෙන් බිහිවු ව්‍යාපාරයකි. ලංකාවේ වැඩිම ඩිමෝ බට්ටා ඇති ගමද මානාවය. එය ප්‍රමාණයෙන් සියය ඉක්මවන්නේය.

පෙරදී කුලපීඩන තත්ත්ව නිසා වෙනස්කමට ලක්වු ඔවුන්ට රැකියා දීමට කිසිවෙක් නොවු නිසා  මොවුන්  කළේ ඈත ගම් නියම්ගම් ගානේ ගොස්  අතබලා ශාස්ත්‍ර කීමය. මෙම අතීත වැසියන් පුරාණ නීචකුල ශාස්ත්‍ර ගුරුකම්වලට දක්ෂය.   කල් යෑමේදි ඒවාද ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගොස් ආදායම් ලබන වෙනස් ක්‍රමවලට අත්හදා බැලීමට හුරු පුරුදු වූහ.

මුල් කාලීනව හිස් අතින් ගම්වල සංචාරය කළ ඔවුහු පසු කලෙක වේවැල් ආශ්‍රිත නිෂ්පාදන, සම් ආශ්‍රිත භාණ්ඩ රැගෙන ගියහ. මේ වනවිට ගෙන් ගෙට ගොස් විවිධ භාණ්ඩ අලෙවියේ සිට පරණ අබිලි ද්‍රව්‍ය එකතු කිරීම දක්වා පුළුල්ව ඇත්තේය.

මුලදී  මිනිසුන්ට අතපෑම් වෙනුවට ස්වාධීනව නැගී සිටින්නට කල්යාමේදි මොවුන්  පුරුදුව ඇත. ඒවා කෙසේ කුමන කාලවලදි පරිණාමයට ලක්වූවාදැයි නිශ්චිතව කීමට නොදන්නා මුත් මානාවේ වැසියන් මෙයට දශක දශකයකට දෙකකට   වඩා සිටියාට වඩා දැන් දියුණුය. එම දියුණුවේ ආරම්භය පරණ යකඩ හා අබිලි ද්‍රව්‍ය එකතුකිරීමේ ව්‍යාපාරයන් ආරම්භයෙන් පසුව සිදුවූ බව ගමේ බහුතරයකගේ මතයයි.

අධ්‍යාපනය තත්ත්වය

මානාවේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් අකුරු ලිවීම කියවීම නොදනී.  බොහෝ අය ඇගිලි අත්සන යොදති. අතීතයේදි පාසල් යෑමක් සිදුව නැත. එකල කුල ක්‍රමය දරුණු ලෙස සමාජයේ මුල්බැසගෙන තිබු නිසා මානාවේ දරුවන් වෙනත් ගම්වල පාසල්වලට  යැවීමට මව්පියන් බියව ඇත. මේ නිසා මානාවටම වෙන්වු පාසලක් කල් යෑමේදි ඉදි කර ඇති අතර ඇති අතර එයට අදටත් වෙනත් ගම්වල දරුවන් නොඑන්නේය.

වසර   තිහ හතළිහකට පෙර පාසල් ගිය අයගෙන් කියවුනේ එකල පැමිණි ගුරුවරුන්   කුලය ගැන කියමින් පහත් කරමින්  මානසික හා ශාරීරික පීඩාවට පත් කරමින් සිටියා විනා පාසලේ දරුවන් ගැන නොබලා සිය මාරුවීම ඉතාම කෙටි කලකින් කරගන ගිය  බවය. පාසල් සංවර්ධන සමිතියේ ලේකම් වු   සමන් මහතා ඉකුත්දා පාසලේ උත්සවයකට පැමිණි කලාපයේ අධ්‍යාපන බලධාරීන් හා මාධ්‍යවේදීන් ඉදිරියේදීම මෑතකදි මේ බව අනාවරණය කරේ ඉතා හැගුම්බරවය.

වර්තමානයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය එලෙස පාසලින් ඈත්ව ගිය සිසුන් සොය සොයා ගෙන්ගෙට ගොස්  පාසලට ගෙන්වාගෙන පාසල් අධ්‍යාපනයෙන් දියුණුවට ගෙන යෑමට උත්සහ ගනී. ඒ නිසාම පාසලේ විදුහල්පතිට හා සාර්ථක ගුරුවරුන්ට මාරුවීම් පවා ලැබුණු බවද මව්පිය පාර්ශවයන්ගෙන් කියවිණී. වසර කිහිපයකට වඩා සිටියාට වඩා ගමේ දරුවන්ගේ පාසල් යෑම හා ඉගෙනුම හොද තත්ත්වයේ ඇති බව ගම්මුන්ගේ අදහසයි.

රජයේ පුරවැසියන් වීම අනිවාර්ය බව මානාවේ අය නොදන්නවාද?

මෙහි බහුතරයකට විවාහ, උප්පැන්න හැදුනුම්පත් තිබි නැත. වරින්වර කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ජංගම සේවා මගින් මේවා ලබා දුන්නද එම සේවය සම්පූර්ණයෙන් ගැනීමට ගම්වැසියන් සූදානම් නැති බවක් පෙනේ. මේ වසර මුලදි පැවැත් වූ ජංගම සේවයකදි හෙළිවුයේ පාසල් යන දරුවන් කිහිපදෙනෙකුටම උප්පැන්න සහතික, හා 18 ඉක්ම වු පුරවැසියන් කිහිපදෙනෙකු ජාතික හැදුනුම්පත් ගෙන නොමැති බවත්ය. එදින විවාහ නොවී එහෙත් දරුවන් සිටි ජෝඩු විවාහ කිරීම මෙන්ම, මෙන්ම  දරුවන් ගේ උප්පැන්න ලියාපදිංචියද   ඉතා සැළකිය යුතු සංඛ්‍යාවකින් සිදුකර ඇත. මෙවන් ජංගම සේවා වසර කිහිපයකට වරක් පැවැත්වුවද ප්‍රතිපල මෙයාකාරමය. එය නොතේරුම්කමද නැත්නම් අනිකක්ද දන්නේත් ඔවුන්මය.

ගෘහ ආර්ථිකයට කාන්තාවගේ දායකත්වය

පරණ අබිලි ද්‍රව්‍ය එකතු කිරීම හා ජංගම වෙළෙදාම  හැර වෙනත්   රැකියාවන්හි නිරතවන්නේ නම් ඒ හතර පස් දෙනෙකි. ඔවුන්ද රජයේ රැකියා කරන්නන්ය. කිසිදු කාන්තාවක් රජයේ හෝ කිසිදු රැකියාවක් නොකිරීම විශේෂත්වයකි.  දේශපාලන මැදිහත්වීම් මත රජයේ රැකියා දීමේදි පවා මානාවේ කාන්තාවන් ගැන සැළකිල්ලක් දක්වා නැති සෙයකි.

මානාවේ කාන්තාවන් බොහෝවිට  සාමාන්‍යපෙළ දක්වාවත්  ඉගෙනගන නැත. බොහෝ තරුණ කාන්තාවන් විවාහ වී   ඇත්තේ අවුරුදු 15ටත් පෙරාතුවය. ඒ අනුව මෙහි ළමා විවාහ මෙන්ම ළමා මව්වරුන් ද සැළකිය යුතු මට්ටමේය. ගමේ අධ්‍යාපනය අතින් ඉහළටම ගිය එකම කාන්තාව විසි දෙහැවිරිදි විද්‍යා පීඨ අපේක්ෂිත තරුණියකි.

පෙර දී පිරිමින් පමණක් ආදායම් ලැබීමට ඉදිරිපත්ව ගැහැනුන් දරුවන් බලා කියා ගැනිම දැන් දැන් අඩුව ඇති සෙයකි. දැන් මානාවේ කාන්තාවන් බහුතරයක් කිනම් හෝ ආදායම් උත්පාදන ක්‍රමයකට යොමුවෙමින් සිටින්නේය. එය මෑත වසර තුන හතරක කාලය තුළදි පෙරට වඩා වැඩිව ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දරාගත නොහැකිකම නිසාය.   මෙහි කාන්තාවන් හා කළ සාකච්ඡාවලදී අවබෝධ වුයේ ‘‘කොරෝනාවලින් පසුව රටේ ඇතිවු ආර්ථික ප්‍රශ්න ගෙදර බත් පතට දැනුනාට පසු තමන් එදාවේල සොයාගැනීමට ගෙයින් එළියට බැස්ස බවකි.‘

8-5රැකියාවක් නොකරතත් මෙහි කාන්තාවන්ද පිරිමින් හා හරි හරියට පවුලේ ජීවන සටන ගෙනයෑමට මහමගට බැහැලාය. කොටින්ම මානාවේ කාන්තාවන්ගෙන් බහුතරයකගේ රැකියාව ජංගම වෙළෙදාමයි. වයස භේදයක් නැතිව ඔවුහු  දැනටමත් හදුන්කූරූ, විවිධ වේවැල් නිෂ්පාදන, මෙන්ම මුද්‍රිත පොත පත අලෙවියද ගෙන්ගෙට ගොස් කරති.

දුර බැහැරක ගොස් වේවැල් බඩු විකුණන ලලිතා

කලින් සිය සිය නිවසේදීම නිපදවාගත් වේවැල්  නිෂ්පාදන රැගෙන ගම් නියම්ගම්වල ඇවිදගිය කාන්තාවකි පී ලලිතා මහත්මිය‍. ඇය මේ වනවිට රදාවඩුන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ අලෙවි  ජාලයකට බැදි  සිටී.  නිවසේදි සැමියා හදන නිෂ්පාදන මෙන්ම  වේවැල්දෙනියෙන්  ඉතිරි භාණ්ඩ ගන්නා ඇය  සති දෙකතුනක්   බෝඩිමක නැවතී හිද රදා වඩුන්න, නිට්ටඹුව, කඩුවෙල, කිරිදිවැල, කිරිබත්ගොඩ,  කොළඹ වැනි  ප්‍රදේශවල අලෙවි කරන්නීය. දරුමුණුපුරන් සිටියත් ඇය   ගෘහ ආර්ථික ගොඩනැංවුමේ සටන අතහැර නැත. මේ ඇගේ ඒ සටන ගැන කෙටි සටහනකි.

‘‘බඩු සේරම ඔලුවේ තියාගෙන දවසකට කිලෝ මීටර් 10ක් විතර ඇවිදිනවා. අපිව මුදලාලි වාහනයකින් ගෙනියනවා. තැනකට දානවා. අපි ඇවිදලා බඩු විකුණලා ඉතිරිවා මග තියලා ඇවිත් බෝඩිමට හවසට එනවා. ආයේ පහුවදාට ඇවිදිනවා. අපි දෙන්නා යමක් කමක් තේරෙන කාලේ ඉදන් කරේ මේ රස්සාවයි. වෙන රස්සාවල් තේරෙන්නේ නැහැ.   අපි මැරෙනකම් මේ රස්සාව කරනවා. මේ ගෙවල් දොරවල් හදාගන අපි ජීවත් වෙන්නේ අපේ දෑතේ හයියෙන්. දැන් ගමේ ගොඩක් අය හුරුවෙලා ඉන්නේ එදා වේලට විතරක්  හොයාගෙන ජීවත් වෙන්නයි. වේවැල් රස්සාව කරන්න ගොඩක්  අය කැමති නැහැ.

ඔවුන් දෙදෙනා වේවැල් හැදීම පුරුදු පුහුණු වු ආකාරය ගැන කීවේ මෙවන් කතාවකි.

අපිට අවුරුදු 7/8ක් කාලේ බණ්ඩාරනායක මහත්තයා   අත්කම් හදන වැඩපළක් ගමේ හැදුවා. අපේ තාත්තලා අයියලා ඒවට ගියා. අපිත් බිත්තිවල එල්ලිලා ඒ දිහා බලන් හිටියා. ඒවා හදන විදිය, මුල පුරන විදිය බලන් ඉදල  අපි ගෙදර ඇවිත් මේවා හදන්න පුරුදුවුනා. දැන් අවුරුදු 40ක්50ක් ඉදන් අපිට කන්නේ බොන්නේ ඒ රස්සාවෙන්. ඉස්සර  පොළොන්නරු දිහාවේ ගිහින් වේවැල් කපන් ඇවිත්   හැම එකක්ම වියනවා. දැන් වේවැල් හිග නිසා අපි ගෙදර බඩු හදන්නේ අඩුවෙන්.

අතිතයේ වේවැල් කපා ගැනීම මෙන්ම ප්‍රවාහනයටද නීතිරීති නොතිබීම නිසා එය ඔවුන්ගේ ජීවනගමනට බාධාවක් වී නැත. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. පහර වදින්නේ බඩටය.

‘‘දැන් මහත්තයාට වේවැල් අදින්න බැහැ උරපතු රිදෙනවා.  දැන්  වේවැල් ගාලක් රුපියල් 45000ක් වගේ වෙනවා. ඒ  වේවැල් කපලා මේහාට ගේන්න පර්මිට් ගන්න ඕනා. මෙහේ ඇළවල්වල තියෙන වේවැල් වැඩක් නැහැ කල් තියාගන්න බැහැ කැඩෙනවා.

ජංගම පොත්   විකුණන සන්ධ්‍යා

කටුමැටි ගැසූ පැළක ජීවත්වන පී සන්ධ්‍යා කුමාරි ගෙන් ගෙට ගොස් පොත් හා පින්තූර හා වේවැල් භාණ්ඩ වෙළදාමි කරයි. ඇගේ සැමියා වූ පී අබේරත්න නිවසේ සිට වේවැල් නිෂ්පාදන කරන්නෙකි. දරු තිදෙනෙකුගේ මව්පියන් වුවද දරුවකුට අතනොපා ජීවත් වීමට උත්සහ කරයි. කුරුණෑගල හා කුලියාපිටිය පොත්හල්වලින් සතියකට වරක්  පොත් රැගෙන වෙළෙදාමේ යන සන්ධ්‍යලාගේ කාණ්ඩය 15ක් පමණ වන බව කීවාය.

‘‘ මහත්තයාට ලෙඩ. එයා ගෙදර ඉදන් වේවැල් බඩු හදනවා. ඉස්සර මම ඒවා අරන් ගියේ. කොරෝනාවලින් පස්සෙ ඒවා විතරක් විකුණලා ජීවත් වෙන්න බැරි තරම් බඩු මිල ගණන් ගිය නිසා මම මේ පොත් අරන් යන්නේ.  මම දැනටත් එයා හදන කුල්ලක්, කිරි ගොට්ටක් පොත් විකුණන ගමන් අරන් යනවා.  අපිට ජීවත් වෙන්න මොනයම් හෝ මාර්ගයක් තියෙනවානම් මෙහෙම ගෙන්ගෙට යන්න ඕනා නැහැ

වූල් ගෙතුමෙන් ජීවිතය සොයන නදීකා

ලලිතලා මෙන් නොව තරුණ පරපුරේ අය තම පරම්පරාවේ වැඩිහිටියන් මෙන් පාරම්පරික ජිවන ක්‍රමවලට එතරම් කැමති නැති සෙයකි. නිසි අධ්‍යාපනයක් නොලැබුවත් නව තාක්ෂණය , සමාජ ජාලා ඔස්සේ ලබාගත් දැනුම, අවබෝධය මගින් ආදායම් ලැබිය හැකි බව වටහා ගත් අයද මෙහි සිටී. නදීකා සංජීවනි රණවීර එවැන්නියකි. ඇගේ සැමියා පරණ යකඩ එකතු කරන්නෙකි. මෑතක සිට ගර්භණි සංකූලතා නිසා පෙර මෙන් ජංගම වෙළෙදාමේ යෑම කළ නොහැකි නිසාත් නිවසේ සිට වූල් ගෙතුම් කරයි.

 කොරෝනාවලින් පසු නිවසේ ආර්ථික තත්ත්වය පහත වැටුනු නිසා   හදුන්කූරු යනාදිය ගෙන්ගෙට ගොස් අලෙවි   කර ඇත. එයින් දිනපතා නිවසේ වියදම් සමනයට රුකුලක් වූ බවත් වත්මන් ආර්බුද හමුවේ තමන් දෙදෙනාද දැඩි අසීරුතාවලට ලක්වු බව කීවාය. දැන්  වූල් ගෙතුම ආදායම් මාර්ගයක් මෙන්ම විනෝදාංශයක්ද කරගෙන සිටි. ඇය සැදු වූල් ගෙතුම් ජංගම වෙළෙදාමේ අයට ලබා දීමට සිතා සිටි. නදීකා මේ සදහා පුහුණුව ගත්තේ යූටියුබ් විදෙස් නාලිකා වලින් බව පවසන්නීය.

‘‘භාෂාව තේරෙන්නේ නැහැ. ඒත් කරන වැඩේ බලාන හදන්න තේරෙනවා. සමහර නිෂ්පාදනවලට දවසක් දෙකක් යනවා. මල් වගේ ඒව කරද්දින් නාස්තියත් ටිකක් වැඩියි. ඒත් අපිට මේවට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ. බිත්ති සැරසිලි වූල් ගෙතුමක් රුපියල් 1500ට විතර මං ලබා දෙන්නේ. මෑතකදි මැක්‍රම් එකක් හැදුවා හාර දාහකට විකුණගත්තා. ඒකට දවස් කීපයක් ගියා. අපිට ගැටලුව වූල් මිලට ගන්න එකයි. මිල වැඩි වෙලා නිසා අපේ මහන්සියත් අරන් නිර්මාණයට මිලක් කියන්න බැහැ.

අපේ ගමේ අය පුරුදු වෙලා ඉන්න රස්සාවෙන් පිට දේවල් කරන්න බයයි. ආදායම ගැන හිතන නිසා. ඒත් ඒවගේ ඒවයින් හොද ආදායමක් ලබන්න පුළුවන් නම් ගොඩක් අය ඒවට යොමු වෙයි. ඒත් අලෙවිකරගන්න ප්‍රශ්නය නිසා මට වුනත් ඉදිරිය ගැන සැක සහිතයි.

ඇය පාදයක ආබාධ සහිත අයෙකි. ඒ කුඩා කලදී පිලිස්සුමකට ලක්ව සිට පසු කාලීනව දරුවාද ලැබු පසු අදාළ තුවාලය තිබු තැන කැසීමෙන් පසු ආසාධනය වීම නිසා ශල්‍යකර්මයක් කිරීම නිසාය. ඒ නිසා ඇයට  බර වැඩ කිරීම අපහසුය. ගමේ පොදුවේ පවතින ජල ගැටලුව නිසා කිලෝමීටරයක් පමණ ගොස් ජලය ගෙන ඒම දැන් තත්ත්වය උඩ වඩාත් අපහසුව ඇතැයි නදීකා වැඩිදුරටත් කීවාය.

‘‘ගමේ ගොඩක් පවුල්වලට තියෙන ප්‍රශ්නය වතුර නැති කම. අපිත් අවුරුදු ගාණක් හැතැම්මක් එහා ඉදන් වතුර ඇද්දා.  වතුර නැති ප්‍රශ්නෙන් ගොඩක්ම පීඩා විදින්නේ ගෑනු අයයි. හැමෝම දුර ඉදන් ඔලුවේ තියන් වතුර අදිනවා.

නදීකලා ලලිතලා තොරෝනාවලින් පසු ආර්ථික බිදලීම්වලින් බැටකෑ රටේ කාන්තාවන්ගෙන් කුලකයක් පමණි. ගම්මානයේ සෙසු කතුන්ගෙන් කිහිපදෙනෙකුවත් මෙයට වඩා අන්ත අසරණව සිටිනවා විය හැකිය. පිරිමින් මෙන් වාහනවල නැගී යකඩ එකතු කිරීමට වඩා ගෙන්ගෙට ගොස් භාණ්ඩ අලෙවිය ඉතා අසීරුය. ඔවුහු සියලු ජීවන බර තම කර මත පටවාගත්තාක් මෙන් සියලු භාණ්ඩ හිසමත දරා ගෙන් ගෙට යති.

ගමේ පිරිමින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි නිසා ආර්ථික පිරිහීම් හා දිළිදුකම වැඩි බව රාජ්‍ය නිලධාරීන්ගේ මතයයි. පවුලේ බර කර අරින සැමියන් සිටින නිසා  ඇතැම් පවුල්වල කාන්තාවන් ජංගම වෙළෙදාමේ නිරත බවද ඔවුන්ගේ අදහසයි. ‘‘කෙතරම් දෑ රජයෙන් නිකම් දුන්නත් මදි ඉල්ලන්නම හුරු වෙලා යැයි ඇතැම් නිලධාරීන් චෝදනාත්මකව කතා කළද ඔවුන්ගේ පාරම්පරික ජිවනපුරුදු අනුව ඒවායින් එක්වරම මිදීම අපහසු වනවාද විය හැකිය.  ඒවායේ සත්‍යාසත්‍යතාව විමසීම අපට අයිති නැතත් ක්‍රමයේ යම් වෙනසක් කිරීමට නම් එකී දෙපාර්ශවයම සහයෝගයෙන් විස්වාසයෙන් කටයුතු කළ යුතු බව හැගේ.

වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා විශාඛා කුමාරගුරු මහත්මිය

ගමේ අයගෙන් මාස කිහිපයකට පෙර ආණ්ඩුකාරතුමාට ආව පෙත්සමක් නිසා අපි ගම දියුණුකළ හැකි ක්‍රියාමාර්ග, ආදායම් උත්පාදන ක්‍රම වගේම ගමේ අඩුපාඩු හදුනාගන්න ක්‍රමවේදයක් හැදුවා. අපේ නිලධාරියෙක් මේ ගමට යොදවල ඉන්නවා.  දැනට ගමේ අත්කම් නිෂ්පාදකයින්ගෙන් සමිතියක් හදලා එය හරහා ප්‍රදර්ශන තියලා අලෙවිවයට අවස්ථා දෙන ගමන්ම සාමාජිකයින්ට මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහනකුත් හදලා තියෙන්නේ. කුලියාපිටිය නැගෙනහිර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ ගමටම වාර්ෂික සංවර්ධන සැලැස්මක් හදලා  එය ක්‍රියාත්මක කරමින් ඉන්නේ.

                                                         උපදේශකත්වය සහ අනුග්‍රහය ඉන්ටර් නිව්ස් ආයතනය

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed