වරලස දන්දුන් බිංගිරිය ළදුන් – මිහිර විජේසේකර

 

යුවතියකගේ පංච කළ්‍යාණියට අයත් ප්‍රධානම අංගය කේශ කල්‍යාණියයි. එනම් දිගු වරලසයි.. දිගු වරලස හිමි කාන්තාව රූ සපුවෙන් පිරිපුන්ය.මෙවැනි කෙස්‌ කළඹක්‌ ලබා ගැනීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකියි. නීරෝගී ලස්සන කෙස් කළඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නකි. කාන්තාවන් දිගු වරලසක් ආදරය කරති ආරක්ෂා කරති.
යම් කරදරයක් ඇබැද්දියක් අසනීපයක් වුවහොත් ඊට හැකි උදව් පදව් කිරීමට අතීතයේ සිටම අප තුළ ජනිතව තිබෙන ඒ ගුණාංගය තවමත් එලෙසම පවතී. බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද කුටි සෙනසුනේ දී එවන් ආදර්ශමත් සද් ක්‍රියාවක් සිදු කළේ පොසොන් සතියට සමගාමීවය.ඒ කාන්තාවන් විසින් සිය පංච කල්‍යාණයේ එක් අංගයක් වන කේෂ කල්‍යාණිය පිළිකා රෝගීන් උදෙසා දන් දීම ය.
පොසොන් සතියට සමගාමීව සංවිධානය කර තිබූ මෙම පණිවිඩය කණ වැකුණු යුවතියන් බිංගිරිය අවට ප්‍රදේශවල පමණක් නොව ඈත ගම් දනව් වල අය වැල නොකැඩී මෙම අසපු ආරාමයට පැමිණියේ මුළු මහත් සමාජයට පණිවිඩයක් ලබා දෙමිනි. ඇතැම් කාන්තාවන් මේ සදහා රාජකාරියේ යෙදී සිටියදී කෙටි නිවාඩුවක් ලබාගෙන‍ෙ පැමිණීම ද දැකගත හැකි විය.ඒ අතර පොලිස් නිලධාරිනියන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරිනියන් කැපී පෙනිණි . එදින කාන්තාවන් එකසිය හැට හත් දෙදෙනෙක් මෙම පරිත්‍යාගයට දායත වූහ.තරුණයින් 10 දෙනෙක් ද සිය කොණ්ඩය පරිත්‍යාග කිරීමට පෙළ ගැසුණහ.
බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද කුටි සෙනසුනේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ අනුශාසකත්වයෙන් මෙ වැඩසටහන සංවිධානය කර තිබිණි.
ඇත්තෙන්ම මේ කරව්වැව අනීඝ සද්ධර්මෝද කුටි සෙනසුන හදලා ඉතාම කෙටි කාලයක් වෙනවා. ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ උපදෙස් මත ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක් සිදුකළා. ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් වුනා. එනිසා මේ ආගමික ස්ථානය වටා විශාල වශයෙන් දායකයින් දැන් එක් වෙලා තිබෙනවා. මීට පෙරද මෙවැනිම වැඩ සටහනක් කළා. එහිදී කාන්තාවන් 116 ක් සිය කේශ කල්‍යාණය පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ඒ වගේම අද 167 ක් මෙම පරිත්‍යාගයන් කළා. මේ සඳහා තරුණයන් ද එක්වීම සතුටක්. කුඩා ළමුන් කීපදෙනෙකුගේ හිස කෙස් පරිත්‍යාග කිරිමට ඒ අයගෙ දෙමව්පියන් කටයුතු කළා. සමාජයට විශාල සේවයක් කරන මෙම කුටි සෙනසුන ඉදිරියට තවත් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට කටයුතු කිරීමට අදහස් කර තිබෙනවා. කරව්වැව අනීඝ සද්ධර්මෝද කුටි සෙනසුනේ සභාපති ඩබ්ලිව්.පී යසපාල මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed