පරිසර නඩු කඩිනමින් අසා තීන්දු ලබා දෙන්න , වැදිනායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ඉල්ලයි -මහනුවර වාර්තාකරු

පරිසර විනාශයන් සම්බන්ධයෙන් පවරන නඩු කඩිනමින් අසා තීන්දු ලබාදෙන ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් දැනට පවතින තත්ත්වය යටතේ තීන්දුවක් ලබා දීමට වසර ගණනාවක් ගතවන නිසා එම කාලය තුළ පරිසරයට විය යුතු හානිය සිදුව අවසන් වන බවත් වැදිනායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පවසයි.
පොල්ලේබැද්ද රඹකැන් ඔය අක්කර 7500 ක භූමි ප්‍රමාණයක සිදුවෙමින් පැවැති පරිසර විනාශය සම්බන්ධව තමන් පරිසර යුක්ති කේන්ද්‍රය සමඟ නීති මාර්ගයට ගිය බව ද හෙතෙම කීවේය.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඊයේ (05) මහනුවර දළදා මාලිගාවේ පැවැති පරිසර වැඩසටහනකට එක් වෙමින් වන්නලෑ ඇත්තෝ මේ බව පැවසුවේය.
දැනට පවතින පරිසර නීති වුව ද පරිසර ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් වුවත් එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව ද වැදිනායකයා ප්‍රකාශ කළේය.
ස්විස්ටර්ලන්තයේ ජීනීවා හි පැවැති ජගත් පරිසර සමුළුවකට තමන් සහභාගි වූ බවත් මේ වනවිට පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව ලෝකයේම අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම කීවේය.
පරිසරය ආරක්ෂා කර ගැනීම පිණිස ස්විස්ටර්ලන්තයේ දැඩි නීති ක්‍රියාත්මක බවත් ගසක් නොසිටුවා කිසිදු අවස්ථාවක ගසක් කැපීමට එරට දී අවසර නොලැබෙන බවත් වැදිනායකයා පැවසුවේය.
පරිසරයට සිදු කරන විනාශය නිසා ස්වභාවධර්මය කුපිත වී නොයෙක් ආකාරයේ ව්‍යසන අප හමුවට පමුණුවන බවත් ගංවතුර,නියඟය, කොරෝනා, ඩෙංගු ඊට උදාහරණ කිහිපයක් පමණක් බවත් වන්නියලෑ ඇත්තෝ කීවේය.
තමන් ගේ උපන් දිනය දා ගසක් සිටුවීමට සෑම දරුවෙකුම හුරු කළ යුතු බවත් ඒ ඔස්සේ පරිසරයට ආදරය කරන්නට ඔවුන් තුළ හැඟීමක් ඇති වන බවත් ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed