පරම්පරාවෙන් පරම්පරාවට බැට කන කුවේණිගේ පරපුර (සුනිල් තෙන්නකෝන්)

ක්‍රිස්තු වර්ෂයෙන් වසර පන්සියයකට පමණ පෙර තම්බපණ්නියට ඉන්දියාවේ සිට පැමිණි එරට රජ පරපුරට අයත් විජය නම් කුමරුවෙක් මෙරට සිය රාජ්‍ය බලය තහවුරු කර ගත්තේය. එකල මෙහි වාසය කළේ යක්ෂ නාග ගෝත්‍රිකවලට අයත් මිනිසුන්ය. ලංකාවට පැමිණි විජය මෙරට යක්ෂ ගෝත්‍රයට අයත් කුවේණිය සිය ඇඹේණිය කරගනිමින් ජීවත් විය. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට “ජීව හස්ථ සහ දිසාල” නම් වූ දරුවන් දෙදෙනකු ලැබිණි.

කලක් ඇවෑමෙන් විජය සිය රාජාභිෂේකය සඳහා ඉන්දියාවේ මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වා ගත්තේය. සිය රාජාභිෂේකයත් සමඟ සිය පැරණි ඇඹේණිය වූ කුවේණිය සිය දරු දෙදෙනා සමඟ මාලිගාවෙන් පිටුවහල් කළේය. ශෝකයටත් කෝපයටත් පත් කුවේණිය දරු දෙදෙනා සමඟ ඥාතීන් හමුවට පැමිණියේ ය. එහෙත් තම වර්ගයා පාවාදුන් කුවේණිය පිළිගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීය. ඇගේම මාමා කෙනෙකු ගැසූ කම්මුල් පහරකින් ඇය මැරී වැටුණ බව වංශකතාවල සඳහන් වේ.

ඉක්බිතිව “ජීවහස්ථ සහ දිසාල” ඌව පළාතට විත් මහියංගනය, බින්තැන්න මූලික කරගෙන ජීවත් වූ බව වංශකතාවල සඳහන් වේ. මොවුන් දෙදෙනාගෙන් පැවත එන මෙම පරපුර ආදිවාසීන් ලෙස හඳුන්වයි. කලකට පෙර ඔවුන් වැද්දන් ලෙස හැඳින්වූවද පසුව ඔවුන් ආදිවාසීන් ලෙස හැඳින්වීමට ලෝක වාසීහු එකඟ වූහ.

එදා තනි වූ කුවේණියගේ දරු දෙදෙනාගේ පරපුර පසුව ඌව පළාත් හා නැගෙනහිර පළාත් වල ව්‍යාප්ත වූහ. විශේෂයෙන් ම දානිගල, වැලිඹේ, නුවරගල, රතුගල, පොල්ලෙ බැද්ද හා හේනේ බැද්ද ගම්මාන මූලික කරගෙන පදිංචිය තහවුරු කර ගත්හ.

ආදියේ ඔවුන් ගල් ගුහාවල ජීවත් වෙමින් සතුන් දඩයම් කරමින් ජීවිකාව ගෙන ගොස් ඇත. මහවනයේ අලි කොටි ආදී සතුන් මැද ජීවිකාව අරඹා ඇත. ඔවුන් ගේ ප්‍රධාන ආහාරය සතුන් මරා අනුභව කිරීමයි.  තම ජීවිත පරදුවට තබා සතුන් පසුපස හඹා ගොස් විවිධ උපක්‍රම යොදා සතුන් මරා ගෙන ඇත. අද මෙන් නවීන ගිනි අවි නොතිබූ යුගයේ ඔවුන් ගල් දුන්නෙන් හෝ පොලු මුගුරු බොරු වලවල් උපයෝගී කරගෙන සතුන් මරාගෙන තිබේ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් සතුන් දඩයම් කිරීමට දුනු ඊතල භාවිතා කොට ඇත.

මීට අමතරව වනයෙන් ඔවුන්ට ලැබුණු ගෙඩි, අල, කොල, මී පැණි ආහාර විය. කලක් ඇවෑමෙන් ඔවුන් කැලෑ කපා හේන් වගාවට පුරුදු විය. ඉන්පසු කුරක්කන් මෙනේරි මෙන්ම ගොඩ වී වර්ගද වගා කොට ආහාරයට ගෙන තිබේ. වර්තමාන ආදිවාසී ජනයා හේන් කුඹුරු වගා කරමින් කුඩා අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරමින් ජීවත් වේ. ආදිවාසී පරපුරේ වර්තමාන නායකයා ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ය. ඔහුගේ පියා හෝලිකේ වන්නකු තිසාහාමිය. තිසාහාමිගේ පියා උනාපාන පරපුරේ වන්නකු වේ. ඔවුන්ට නායකත්වය හිමිවන්නේ පරම්පරාවෙනි. ඔවුන්ගේ පාලන සභාව වරිග සභාවයි. සිය රැහේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීම, ඔවුන්ට දඬුවම් පැනවීම, ප්‍රශංසා කිරීම හා රැහෙන් පන්නා දැමීමටද වරිග සභාවට බලය හිමිවේ.

 

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක අනු ගම්මාන 62ක ආදිවාසීන් ලක්ෂ 5 ක් පමණ ජීවත් වේ. වර්තමානයේ ඔවුන්ට වනය අහිමිය. වනයට ඇතුළු වීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එදා වනය සමඟ අන්‍යෝන්‍ය සබඳතාවක් පැවැත්වූ ආදිවාසීන් ඉවත් කළ රටේ පාලකයෝ සිය දේශපාලන හිතවතුන්ට අක්කර දහස් ගණන් විනාශ කිරීමට අවසර පත් ලබා දී තිබේ.

මේ කරුණු සියල්ල අරබයා ඔවුන්ට සිදුව ඇති ඛේදවාචකය නිරීක්ෂණය කිරීමට අපි ඔවුන් හමු වුනෙමු.

 

අපිට අහිමි අපේ නිජබිම

 

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ සොයා ගිය ගමනේදී ඔහු අපට හමු වූයේ ඔහුගේ ආදියේ මියගිය ඇත්තන්ට සහ දෙවි දේවතාවන්ට පැවැත්වූ දේව දානය අතරතුරයි.

කොරෝනා වසංගතය අපේ ජන ජීවිතයට තර්ජන එල්ල කළා. මේ කාලයේ අපට කිසිම ආදායමක් තිබුණේ නෑ. ඒ නිසා කඩමණ්ඩියට යෑමේ හැකියාවක් තිබුණෙත් නෑ. බඩුවක් මුට්ටුවක් ගන්න පිළිවෙලක් තිබුනෙත් නෑ. කොරෝනා කාලයේ ආදායමක් නැති අපේ ඇත්තන්ට ටවුමකට ගිහිල්ලා කුලී වැඩක්වත් සොයාගන්න හැකියාවක් තිබුණෙ නෑ.

මාදුරු ඔය කැලෑව තමයි අපට අයිති  භූමි ප්‍රදේශය, 1983 සිට අපිට තහනම් ප්‍රදේශයක්. මේ කැලෑවේ පැණි කඩන්න දඩයම් කරන්න හේන් හදන්න කොටින්ම කැලෑවට ඇතුළු වෙන්න තහනම්.

පාස්කු ප්‍රහාරය නිසා මුළු රටටම කරදර බොහෝමයක් ඇති වුණා. රජයෙන් අපට රුපියල් පන්දාහක් ඒ කාලේ දුන්නා. ඒ රුපියල් පන්දාහ අරගෙන කඩේකට ගියාම රුපියල් පන්දාහට ගන්න පුළුවන් වුනේ ඔඩොක්කුවට දාන්න පුළුවන් බඩු පොඩ්ඩක් විතරයි.

අපේ පරම්පරාවේ මිනිස්සු තුන්වේල කොහොම වුණත් එක වේලක් ලුණු මිරිසුයි බතුයි කනවා. සමහරු කැලෑවට ගිහිල්ලා අලයක් හාරගෙන තම්බගෙන කනවා.

ඉස්සර සංචාරකයො ඇවිල්ල පිරිලා හිටියා. මේ ගම්මාන වලට මිනිස්සු පැමිණෙන එක අඩු වුණේ පාස්කු දවසේ බෝම්බ ගහලා කලබල කළාට පසුවයි. ඊට පසු කොරෝනා ආවා. ඊට පස්සේ මේ ගම්මාන වලට මිනිස්සු එන එක අත්හැර දැම්මා. මේ ගමේ තරුණ ළමයි ඔය ඉස්සරහ තිබෙන කඩ කාමර වල තමන් සොයා ගත්ත හදාගත්ත බඩු විකුණුවා. නමුත් මිනිස්සු මෙහෙට එන එක අත්හැර දැමුවාට පසු ළමයි කාට බඩු විකුණන්න ද?

‍ මම පත්වෙලා තියෙන්නෙ කතිරයකින් නොවේ.මම පරපුරෙන් ආපු නායකයෙක්. මගේ පියා ඌරුවරිගේ තිසාහාමි ඇත්තෝ. තාත්තගෙන් පස්සේ නායකකම මට උරුම වුණා.

නගරයට තරුණයන් සංක්‍රමණය වීම නිසා අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. නගරයට යන තරුණයන් එහි තියෙන විවිධ මෝස්තර අරගෙන ගමට ආවම ගමේ තරුණයෝ ඒ මෝස්තර අනුගමනය කරනවා. දැන් සමහර තරුණයෝ තොල් පාට කරනවා. කන විදිනවා.කරාබු දානවා. මේ විදියට ගියොත් මෙතෙක් කල් නාහය  විද්ද ගොනුන් එතැනින් ඉවත් කරලා අපේ තරුණයෝ නාහය විද ගනීවි. එහෙම ගියොත් මේ රටේම සංස්කෘති රටාව වෙනස් වෙලා යාවි.  මුළු රටම විනාශය කරා යාවි.

 

 

පාසැලෙන් විසිවන අපේ දරුවෝ

 

අම්මලා සෑම විටම උත්සාහ කරන්නේ තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සහ යහපත් හෙට දවසක් උරුම කර දීමටයි. එවැනි යහපත් වූ කාන්තාවක් අපට දඹානේ දී මුණගැසුණි. ඇය නමින් ගුණපැහැ වරිගයේ සීලාවතී ය.

ඇය සමග සල්ලාපයේ යෙදුණු අපට අපූරු කතා පුවතක් එළිදරවු කර ගැනීමට හැකිවිය. ඇයගේ වැඩිමහල් පුතණුවන්  පාසැලට යැව්වෙ උසස් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතිවයි. ඇගේ හඬ ඇය මෙසේ අවදි කළාය. “මගේ ලොකු පුතා ඉගෙන ගන්න දක්ෂයා. එයා ගියේ දඹානේ ඉස්කෝලෙට ඔහුගේ දක්ෂකම් නිසා අපොස සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා වෙනත් පාසලකට ඇතුළත් කළා. අවාසනාවක මහත ඔහු අද පාසල් නොයන දරුවෙක්. අපේ මනුස්සයාට හරිහමන් රැකියාවක් තිබුණෙ නෑ. කොරෝනාව පැතිරෙන්න ඉස්සෙල්ලා අපි දඹානේ බඩු විකුණලා හොඳ ආදායමක් ලැබුවා. කොරෝනාවෙන් පසු අපේ ගමට මිනිස්සු එන්නේ නැතුව ගම අත්හැර දැමුවා. සංචාරකයෝ නැතුව ගියා. අපි හදන බඩු මුට්ටුවක්, මී පැණි බෝතලයක්, කුරක්කන්,  බඩඉරිඟු පිටි විකුණාගන්න කිසිවෙක් ගමට ආවේ නෑ. අපි හොඳට තුන් වේල කාලා හිටිය මිනිස්සු. ඉන්පසු ඒ සියල්ලම නැතිවුණා. උසස් පෙළ කරන්න ගිය  අපේ දරුවට පොතක් පතක් අරන් දෙන්න බෑග් එකක්, සපත්තු දෙකක් අරන් දෙන්න අපිට සල්ලි නැති වුණා. ඇක්සයිස් පොත්, පාසල් බෑග්, ළමයින්ගේ සපත්තු අහස උසට මිල ගිහිල්ලා. අපි කොහොමද ළමයින්ට ඕන කරන දේ අරන් දෙන්නෙ.  අපේ ගමේ පාසලේ උසස් පෙළ පන්ති පවත්වන්නෙ නෑ.  ඒ නිසා ළමයව එහා පාසැලකට යවන්න සිද්ධ වුණා. එයා ගියේ බස් එකේ. දැන් බස් ගාස්තුත් ඉහල ගිහින්. ඉතිං අපි කොහොමද ළමයින්ට උගන්වන්නේ. පාසල් යවන්න ළමයට බඩු අරන් දෙන්න බැරි නිසා ළමයගේ පාසල් ගමන නවත්වන්න සිද්ධ වුනා”යැයි ඇය පැවසුවේ තම දෑසේ කඳුළු පුරවාගෙනය. අපි වගේ දුප්පත් අම්මලා තාත්තලා දරුවන්ව පාසල් යවන්නේ කොහොමද?  අද පොත් වල මිලේ හැටියට ළමයට ඇක්සයිස් පොත් ටික අරන් දෙන්න වත් අපිට බෑ.

මගේ දෙවෙනි ළමයා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. එයාටත් හොඳට ඉගෙනගන්න පුළුවන්. මම බයේ ඉන්නේ පොඩි එකාවත් ගෙදර නතර කරගන්න වෙයිද කියලා. ඇගේ නෙතින් හැලුණු කඳුළක් බිමට හැලෙනවා මම දුටිමි.

 

දඹාන ජනයාට සමෘද්ධියත් අහිමි වන ලකුණු

 

දඹානේ ගම්මානයේ සල්පිලේ දී හමු වූ රත්නපාල ඇත්තෝ ද එවැනි තරුණයකි.. ඔහුගේ අදහස නම් පාස්කු දින බෝම්බ ප්‍රහාර මේ අවාසනාව රටට උරුම කර දුන් බවයි.

කැලෑව මූලික කරගෙන ජීවත් වූ ජනතාව කැලෑවෙන් එලියට අරගෙන ගම්මාන හදලා ඉඩම් දීලා කැලෑව තහනම් කළා.  ඔවුන්ට දැන් කැලෑව අයිති නෑ.

කැලෑව අහිමි වුණාට පස්සේ අපි අතරමං වුණා. අපිට නියමිත ජීවන මාර්ගයක් නොමැති ව අපි අසරණ වුණා.

සමෘද්ධියෙන් ලැබෙන රුපියල් දෙදාහ අරගෙන කඩේට ගියාම තමයි අපිට තරු පෙනෙන්නේ. අද හාල් කිලෝ එකක් කීයද? අල ලූණු මිරිස් වලත් මිල ඉහළ ගිහින්. රස ගුණ ඇති කෑම ගන්න අපට මුදල් නෑ. ඒක තමයි අපේ ඛේදවාචකය.

අපේ පවුලට ලමයි 6 – 7 ඉන්නවා. ඔවුන්ට රසගුණ කෑම අහිමි වෙලා. ඒ විතරක් නෙමෙයි ළමයි පාසල් යවන්න ඕනේ. ළමයි පාසල් යවන්න අද ඇක්සයිස් පොතක් කීයද? බෑගයක් කීයද?  සපත්තු දෙකක් කීයද?  මේවා නැතිව ළමයෙකුට ඉස්කෝලේ යන්න පුලුවන්ද?

ජිනීවා නුවර පැවති ආදිවාසි සමුළුවේදී ලෝකයේ අනෙකුත් ආදිවාසීන් ඉල්ලා සිටියේ තමන්ට යටිතල පහසුකම් වැඩිදියුණු කර දෙන ලෙසයි. අපේ නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඉල්ලා සිටියේ අපිට අපේ  උරුමය වන මේ වනාන්තරය ලබාදෙන ලෙසයි. එක්සත් ජාතීන්ගේ ලියවිල්ල අනුව අපේ රජය අපට හැඳුනුම්පතක් නිකුත් කළා. එය නිකුත් කළේ 25 දෙනෙකුට පමණයි.  දඹානේ පමණක් පවුල් 425 ජීවත් වෙනවා.  නමුත් කැලෑවට ඇතුළු වෙන්න මේ බලපත්‍රය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපිව අල්ලගන්න වනජීවී නිලධාරීන් කියන්නේ මේ හැඳුනුම්පතේ වනයට ඇතුල් වෙන්න අවසර තිබුණත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න අවසර නැති ඛවයි. ඒ අනුව ඔවුන් අපේ අය අල්ලා සිර කළා. උසාවියට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පහල නිලධාරීන්ට අපගේ ජීවන රටාව පිළිබඳව දැනුමක් ඇතත් ඉහළ නිලධාරීන්ට අපගේ ජීවන රටාව පිළිබඳව දැනුමක් නෑ.

එදා දේශීය විදේශීය සංචාරකයින් විශාල වශයෙන් මේ ප්‍රදේශයට ආවත් අද සංචාරකයින් පැමිණෙන්නේ නෑ. මේ ගම්මානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් අත මුදල් ගැවසෙන්නේ නෑ. ඔවුන් අතේ මුදලක් තිබුණා නම් ඔවුන් අපේ මී පැණි, අල, අපේ කුඩා නිෂ්පාදන මිලදී ගන්නවා. ඔවුන් අපෙන් යමක් මිලදී ගත්තොත් තමයි අපිටත් කඩයකට ගිහින් අපට අවශ්‍ය ආහාර මිලට ගන්න පුළුවන් වෙන්නෙ. රටේ මිනිස්සු අතේ සල්ලි නෑ කියන්නේ අපේ අතෙත් සල්ලි නෑ කියන එක තමයි.

 

බුලත් විටෙන් කුස පුරවා ගන්නා කාන්තාවෝ

 

දඹාන වෙළඳපලේ සිටි ඩිංගිරි මැණිකා සමග කතාබස් කරන්න යාමේදී ඇය මගෙන් විමසුවේ මහත්තයෝ දැන් වෙලාව කීයට විතර ඇද්ද කියලයි. දැන් දවල් තුනත් පහුවෙලා මම ඇයට කීවෙමි. අනේ මහත්තයෝ අද දවසට මට කිසිම වෙළඳාමක් නෑ. සත පහක ආදායමක් නෑ. ඉතිං මම දවල්ට කන්නෙ කොහොමද? කන්නෙ මොනවද? කියා මගෙන් ප්‍රශ්ණ කළ ඇය අද දවසම කන්න වෙන්නෙ බුලත්විට තමයි කියා ඇය බුලත් විටක් කටේ ඔබා ගත්තාය. මම බුලත් විටක් හරි කනවා. ගෙදර ඉන්න ළමයි කන්නෙ මොනවාද? මම හවසට ගෙදර ගිහින් හාල් ටිකක් රත්කරලා ළමයින්ට කන්න දෙනවා.

කොරෝනා කාලයෙන් පස්සෙ අපේ ගමේ කවුරුවත් තුන් වේලම කෑවාද කියා මම දන්නෙ නෑ. අපිත් එක්ක වෙළඳාම කරන අය තුන්වේල කන්නෙ නෑ. අපට තුන්වේල කන්න තියා එක වේලක් කන්නත් සල්ලි නෑ. සල්ලි එන මාර්ග ඔක්කොම ඇහිරිලා. කුඹුරු කෑල්ල වපුරන්නෙත් එක කන්නයයි. එක කරන්නෙත් වැස්සෙන් වැටෙන වතුරෙන්. හරියට වැස්සෙ නැතිනම් ඒකත් නෑ. ඒ් කාලයේ නම් අපි තුන්වේල කාල හොඳින් හිටියා. දැන්නම් එහෙම දවසක් ගැන අපිට සිතන්නවත් බෑ යයි පවසද්දී ඇගේ මුහුණ කළු වලාවකින් වැසී යනු මම දුටුවෙමි.

අපේ මිනිස්සු ඉස්සර වැවකට බැහැල මාළුවෙක් අල්ල ගත්ත. දැන් අපිට වැවට බහින්න තහනම්. මාලු අල්ලන්නත් තහනම්. අපට මේ තොරතුරු ලබා දුන්නේ තලා වරිගයේ ඩිංගිරි මැණිකාය.

 

අත ලෙව කන්නවත් මීයක් කඩන්න බෑ

 

ඌරු වරිගෙ පොඩි ඇත්තො ඔහු අපට හමුවුනේ දඹානේ ආදි වාසි ගම්මානයේ ඔවුන් විසින්ම නිරිමාණය කළ අත්කම් භාණ්ඩ අලෙවි කරමින් සිටියදී වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳව ඔහු මෙසේ විස්තර කරන්නට විය.

කොරෝනාවෙන් පස්සෙ අපේ ගම්මාන වලට පැමිණෙන සංචාරකයින් අඩුවුණා. සමහර වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් වත් මෙහාට ආවෙ නැහැ. දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන්ද අපේ ගම්මානයට ආවා. ඒ් සංචාරකයෝ අපේ දේවල් දැකලා අපේ නිර්මාණ දැකලා ඒ්වා මිලට ගත්තා. ඒ දවස්වල ආපු සංචාරකයින් අතර හොඳට මුදල් ගැවසුනා. ඒ නිසා ඔවුන් අපේ නිෂ්පාදන මිලට ගත්තා. සමහර වෙලාවට අපිට ආධාර කළා.

අපි ජීවත් වෙන්න හේන් කෙටුවා. කුඹුරු වැඩ කළා. අලි ඇවිල්ලා අපේ හේන් පාළු කළා. ඒවායේ ආදායම අපිට අහිමි වුණා. ඒවා ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් නෑ. අපේ වගාවල් ආරක්ෂා කරලා දෙන්න කියා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට කැලෑවට යන්න තහනම් කරලා තියෙන්නෙ. ඒ් නිසා අපිට මීයක් කඩා ගන්න පැණි ටිකක් එකතු කරගන්න විදිහක් නෑ.

 

ජනතාව සාමකාමියි. නමුත් පවුල් ආරාවුල් බහුලයි.

 

ආදිවාසී ජනතාව අතර කල කෝලහල නොමැති බවත් පවුල් ආරාවුල් නම් දකින්න ලැබෙන බවත් දඹාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අපට පැවසීය. අපි දඹාන පොලිසියට යනවිට ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සිටියේය. පසුගිය අවාසනාවන්ත සමයේ මේ ගම්මානයට පැමිණෙන  සංචාරකයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ බැහැලා තිබුණා. ඒ නිසා මොවුන්ගේ ආදායම් තත්ත්වය පහල බසින්න ඇති.  ජීවත්වීමත් ප්‍රශ්නයක් වෙලා තිබුණා.

 

මේ අයට කැලෑව තහනම් ප්‍රදේශයක් වන ජීවී නිලධාරීන් කැලෑවට රිංගන මිනිස්සු අල්ලා උසාවියට ඉදිරිපත් කරනවා.  ඇතැම්විට අපේ සහායත් ලබාදෙනවා. විෂ මත්ද්‍රව්‍ය ඔවුන් පාවිච්චි කරන බවට අපට තොරතුරු ලැබී නැහැ. නමුත් හවසට නීති විරෝධී මත්පැන් පාවිච්චි කරන බව පේනවා. මේ අය කසිප්පු පෙරනවාදැයි අපි වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී පැවසුවේ ඒවට අපෙන් ඉඩක් නැත කියායි. මේ මිනිස්සු සමගියෙන් සමාදානයෙන් ඉන්නවා. නමුත් පවුල් ආරවුල් පිළිබඳ ව නම් අපට පැමිණිලි ලැබෙනවා.

 

රතුගල ආදිවාසීන් අද අසරණයි

මිනිසා ලෝකයට බිහි වූ දා සිට මේ දක්වා පරිණාමයට ලක් වෙමින් පවතී. එදා පුංචි ආදිවාසී කණ්ඩායම් වර්තමානය වන විට අනෙකුත් ජාතීන් සමග සම්මිශ්‍රණය වෙමින් පවතී. මෙය අපට හොඳින්ම දක්නට ලැබුණේ “රතුගල” ආදිවාසීන් මුණගැසුණු අතරතුරයි. රතුගල ආදිවාසීන් සාමාන්‍ය ජනයා මෙන් ජීවත්වන බැවින්, ඔවුන් වෙනත් වර්ගය කැයි කිව නොහැකි තරම්ය. එහෙත් ඔවුන්ට ලැබී ඇති, ලැබෙමින් පවතින අපහසුතා නිසාම ඔවුන් වෙනත් ජන කොටසක් ලෙස සමාජයේ දී දැකිය හැක.  රතුගල පරම්පරාව ආරම්භ වන්නේ 1938 දීය.

තමන්ට ලැබිය යුතු බොහෝ පහසුකම් ඔවුන්ට අහිමි වෙමින් පවතී. රජය මගින් අඩු ආදායම්ලාභීන්ට ගෙවන සමෘද්ධි දීමනාව මාස තුනකින් පමණ ලැබී නැතැයි ඔවුහු පවසති. ලෝක ආධාර යටතේ දිළිඳු ජනයාට ලබා දුන් රු.15,000/- දීමනාව නිලධාරීන් තමා ඉදිරියේම කොල්ල කෑ බව රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ කුඩා වන්නිල ඇත්තො පවසයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් පීඩා එල්ල වන බව ඔහු පවසයි. කන්න දෙයක් නැති නිසා වැවේ මාළු අල්ලන්න ගිය තම පරපුරේ තරුණයන් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ඔහු කියයි.

වන්නිල ඇත්තන් සහ අනිකුත් පරපුර අතර නෑදෑකමක් නැතැයි ද ඔවුහු කියති. ලංකාව වටා අපේ රැහේ කණ්ඩායම් හතක් සිටිනවා. දඹාන, රතුගල, පොල්ලෙබැද්ද, වාකරේ, දිඹුලාගල, දානිගල සහ හෙන්නානිගල. සෑම ගමකම දෙසීයකට වැඩි පවුල් ගණනක් ජීවත් වෙනවා. අපි ජීවත්වුණේ කැලෑවල. අපි කැලෑවෙන් එළියට දැම්මට පස්සේ ජීවත් වීම ප්‍රශ්නයක් වුණා. අපේ පරම්පරාව ජීවත් වුණේ වනාන්තරෙන්. කැලෑවෙන් එළියට ආවට පස්සෙ තමයි අපට මේ ගැටලු ප්‍රශ්න ඇති වුණේ. රතුගල ආදිවාසී පවුල් 150 පමණ ජීවත් වෙනවා.

කොරෝනා වසංගතය සහ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා අපිට තවත් කරදර ඇති වුණා. කොරෝනා කාලයේ කැලේට රිංගලා කන්න දේවල් සොයා ගත්තා. ඒ කාලයේ කුලියක් මලියක් තිබුනෙත් නෑ. සමහර ආයතන වලින් ආහාර ගෙනත් දුන්නා. ඒවා අපට ප්‍රමාණවත් නෑ. රජයෙන් කියලා අපට කිසිම උදව්වක් තිබුණෙ නෑ. රජයෙන් හම්බ වුණේ සමෘද්ධිය පමණයි. ඒකත් හරියට අපට ලැබුණේ නෑ. මාස දෙක තුනකින් අපට සමෘද්ධි ලැබුණේ නැහැ. ලෝක ආධාර අපට ලැබුණේ මේ සිංහල අවුරුද්දට. අනිත් තැන් වලට දී තිබුණේ ඒ ලෙඩ රෝග තිබුණු කාලයේ. අපට ලැබුනේ හාල් කිලෝ විස්සක් විතරයි.  සෑම තැනකටම අල. පරිප්පු, පොල්තෙල් දී තිබුණා. නමුත් අපට ඒවා ලැබුණේ නෑ. රුපියල් පහලොස් දාහක ආධාරයක් දුන්නා. ඒක අපේ හතර පස් දෙනකුට පමණක් ලැබුණා. අනිත් අයට ලැබුණේ නෑ. මගේ පොතේ තිබුන සමෘද්ධි සල්ලි ඒ නිලධාරීන් අරගෙන. සේනානායක සමුද්‍රය තියෙන්නේ අපට අයිති ප්‍රදේශයේ. නමුත් අපට මාලුවෙක් අල්ලා ගැනීමට තහනම්.

අපේ ගමට සංචාරකයෝ එන්නේ නෑ අපට කිසිම ආධාරයක් නෑ හෝටල්වලට එන සංචාරකයෝ අපේ ගම්වලට එවන්න හෝටල් අයිතිකාරයො උනන්දු වෙන්නේ නැහැ. දඹානට නම් යනවා. හොඳ හාල් කිලෝ එකක් ගන්න රුපියල් 200ක් විතර ඕන. අපට එහෙම කරන්න දැන් බෑ. ජීවත් වෙනවට වෙනවා. එක වේලක්වත් නොකන අය ඕන තරම් මේ ගමේ ඉන්නවා. රටේ තිබෙන තත්ත්වය අනුව කුලී වැඩක් වත් සොයා ගැනීමට අමාරුයි.

පාර්ලිමේන්තුවේ සිටින අයයි, වීදුරු කාමර වල සිටින අයයි නම් තුන් වේල කාලා ජීවත් වෙනවා ඇති. අපි වගේම දුක් විඳින තවත් මිනිස්සු මේ රටේ සිටිනවා. ඒ කවුරුවත් තුන්වේල තියා එක වේලක්වත් කන්නේ නෑ. කොළඹ හිටියට මේවා පේන්නේ නෑ. ගම් වලට ඇවිත් මේවා බලන්න. මේ ආර්ථික ගැටලු නිසා අපේ පරම්පරාව නැති වෙලා යනවා.

රටේ මැති ඇමැතිවරු හෝ නිලධාරීන් හෝ අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් මහත්තුරු හෝ දිසාපතිලා ඔවුන් පිළිබඳව සොයා නොබලන බව ඔහු කියයි. තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද, ඉන් ප්‍රතිඵල නොලැබේ. රාජ්‍ය නිලධාරීන් වසරකට වරක්වත් එම ස්ථාන වලින් වෙනත් ස්ථාන වලට මාරු කර යවනවා නම් මේ තත්ත්වය අඩු වන බව ඔවුන්ගේ මතයයි. නිලධාරීන් බොහෝ විට සිතන්නේ ඔවුන් මුසාවක් පවසන බවයි. නමුත් සත්‍යය එය නොවේ. සෞභාග්‍යමත් ආර්ථිකයකට හිමිකම් කී ආදිවාසීහු රටේ අනෙකුත් මිනිසුන් මෙන් රෝගී වී සිටිති. කොලෙස්ටරෝල්, ප්‍රෙශර්, වකුගඩු රෝගවලින් ඔවුන් පෙළෙති. රතුගල ආදිවාසී නායකයා ද අද රෝගියෙකි. බිබිලේ රෝහලේ වෛද්‍යවරු ඔවුන්ට උදව් කරති.

ආදිවාසීන්ගේ කාන්තාවෝ ද තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායක වෙති. වැවේ මාළු අල්ලනවා යැයි ආදි වාසින් අත් අඩංගුවට ගන්න වනජීවී නිළධාරීන් කැලෑවේ පතල් හෑරීමට ඉඩදී ඇත්තේ කුමන නීතියක් අනුවදැයි ප්‍රශ්ණයකි. එක රටක් එක නීතියක් යැයි කීවාට අදිවාසීන්ට අනෙකුත් වන හතුරන්ට තවත් නීතියකි. ආදිවාසි කාන්තාවෝ තම සැමියාට ශක්තියක් ගෙනදෙන්න ආර්ථිකය ගොඩනගන්නට කුලී රැකියාවල යෙදෙති.  රතුගල ආදිවාසීන්ට කුඹුරු ඉඩම් නොමැත. සමාජයේ හුදකලාවූ ආදිවාසි අද සමාජයේ පිළිගැනීමට ලක් නොවී අසරණවී ඇත. ඔවුන්ගේ දුකට පිහිටවීමට කිසිවකු නැත.

රතුගල ආදිවාසි පරම්පරාවේ තරුණ තරුණියෝ තම ජීවිකාව ගෙනයාම සඳහා හේන් වගා කරති. අලියා ඇතුළු වන සතුන් හේන් විනාශ කරන බව ඔහු කියති. මොණරා, දඬුලේනා ආදී සතුන් මේ අතර වේ. රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාර නිසි කලට නිසි වේලාවට නොලැබෙන බව ඔහු කියති. අධ්‍යාපනය ලබන දරුවන් සදහා පොත් පත් ලබාගැනීමේ අපහසුතාවයෙන් ඔවුන් සිටිති. විදුහලේ විදුහල්පතිවරයා ළමයින්ට ආධාර උපකාර කිරීමට සුදානමින් සිටියි. විදේශීය සංචාරකයින් අසරණ වූ ආදිවාසීන්ගේ ඡායාරූප ගෙන ඒවා අධික මිලකට අලෙවි කර ඔවුන් ජීවත්වන බවට ආදිවාසීන් චෝදනා කරයි. බිබිල ත්‍රිකුණාමල පාරේ සෙල්ලම් කඩ වැනි කුඩා මඩු ඉදිකරගෙන ඇතැමෙක් වෙළෙඳසල් පවත්වාගෙන ගියහ.  ඒවායින් ජීවත්වීමට තරම් ආදායමක් නොලැබේ. වනාන්තරයට ගොස් බීඩි කොළ කඩාගෙන පැමිණ ජීවත්වන පිරිම් පුද්ගලයෝ සිටිති.

රතුගල දී අපට හමුවූ කාන්තාවන් තමන්ගේ වයසට වඩා වැහැරී සිටියහ.  කුඩා අවධියේම විවාහ වී දරුවන් හයක් හතක් පමණ ලබන මොවුන් දරුවන් ජීවත් කරවීමට යද්දී මේ තත්ත්වය ඇති වී තිබේ.

 

අපි කෑවොත් ළමයින්ට පොත් ගන්න සල්ලි නෑ.

 

රතුගල දී හමුවූ එම්.ජී.පත්මාවතී. අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ මහත්තයාට කුලී වැඩක් ලැබුණොත් අපි කාලා බීලා ඉන්නවා. නැතිදාට අපි බඩගින්නෙ. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඉන් දෙදෙනෙක් බැඳලා. තුන්වෙනියා ඉස්කෝලේ යනවා. අද කෑවොත් ළමයගෙ පොත් පත් ගන්න බෑ. කොවිඩ් කාලේ අපි ගොඩක් දුක් වින්දා. අපිට ආධාර කරන්න කවුරුවත් සිටියෙ නැහැ. අපි දවස් ගණන් බඩගින්නෙ හිටියා.  ඒ කාලේ කුලී වැඩක්වත් තිබුණෙ නැහැ. මයියොක්කා වලින් තමයි දවස ගෙවා ගත්තෙ. අපි ජීවත්වෙන්නේ හේන් කරලා. ඒවත් කාලෙකට විතරයි.

 

අපිට වගා කරන්න වතුර නෑ.

 

එච්.එම්. අනුලාවතී.  මට දරුවෝ හතරක් සිටිනවා. මහත්තයා ගොවිතැන් කරන්නෙ. හේන් වගාවට රිලවුන්ගෙන්, මොණරුන්ගෙන් කරදරයි. වගා කරන්න වතුර නෑ. බොන්න වතුර ගෙනෙන්නෙ කන්දෙන්.  අපේ ළමයින්ට ඉස්කෝලෙන් පොත්පත්වලින් උදව් කරනවා. කොරෝනා කාලයේ බොහොම අමාරුවෙන් ජීවත් වුණා. දවස් ගණන් බඩගින්නෙ හිටියා. සමෘද්ධිය දෙන එකත් නවත්තලා. හාල් කිලෝ  විස්සක් නම් ලැබුණා. මේ ගම්මාන වලට කවුරුත්ම එන්නේ නෑ. රජයේ නිලධාරියෙක් හමුවෙන්නේ නැහැ. නැතිනම් ඒ අයට කියන්න තිබුනා. ඒ අය මෙහාට එන්නේ නැහැ.

 

 

 

රජය දෙන මුදලින් කනවා

 

ඩී.එම්.තාදි මට රැකියාවක් නෑ. මගේ ගම කිරි ඔරුව. මේ කාලයේ ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. රජයෙන් දෙන මුදලෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකත් මාස 4කින් විතර ලැබුනෙ නෑ. පුළුවන් කට්ටිය අපේ ගමේ හෝටල් දෙකක වැඩ කරනවා. මම ආදිවසීන්ගේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සිටිනවා. මෙතෙන්ට එන අයට එන අයට ගල් එකට අතුල්ලලා ගින්දර ගන්න හැටි පෙන්වනවා. ඒ අයට අපේ කවි, සින්දු කියලා කීයක් හරි අරගෙන තමයි ජිවත් වෙන්නේ. අපි දුක්ඛිත ජීවිතයක් තමයි ගෙවන්නේ.

 

අපේ ජීවිත දුක්ඛිතයි

 

ජී.එම්.පී. කුසුමාවතී. මම මේ පාර අයිනට වෙලා නෙල්ලි නැතිනම් වෙනත් පලතුරක් විකුණලා ජීවත් වෙනවා. ඒක මට ජීවත් වෙන්න මදි.  සමෘද්ධි ආධාර ලැබුණත් දැන් මාස ගණනකින් ලැබුණේ නැහැ. ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ. ළමයින්ට අපිට උදව් කරන්නත් බෑ. කවුරු හරි කන්න ටිකක් දුන්නොත් කාලා සිටිනවා. අපි අසරණ කමින් තමයි ජීවත් වෙන්නේ.

රතුගල ආදිවාසීන් ගේ තොරතුරු සොයා ගිය ගමනේ දී අපට බොහෝ අත්දැකීම් ලැබුණත් ඒවා මෙහි සටහන් තැබීමට නොහැක. ඔවුන් ගෙවන දිවි පෙවෙත ඉතාම කටුකය. දුෂ්කරය. තුන්වේලට ම ආහාර අනුභව කරන මිනිස්සු රටේ ඇතැයි කියන නිළධාරීන්ට සහ දේශපාලකයන්ට මොවුන් ඕනෑ තරම් සාක්ෂි දරන්නට සූදානමින් සිටී. අනාදිමත් කාලයක් මෙරට සිටි මේ මිනිස්සුන්ගේ පරම්පරාව අනාගතයට එකතු කර ගැනීමටත් රටේ ජීවත්වෙන අනෙකුත් මිනිසුන්ට මෙන් ජීවත් වීමට නිදහසක් ඇවැසිය.  එකම රටක් එකම නීතියක් යන සංකල්පය මොවුන්ටද සාධාරණ විය යුතුය.

ඡායාරූප අනුග්‍රහය – හසලක සුනිල් ඒකනායක

මොනරාගල සංජීව බණ්ඩාර

 

                                                                     උපදේශකත්වය සහ අනුග්‍රහය ඉන්ටර් නිව්ස් ආයතනය

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed