රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක_ මහීෂා තත්සරණි

යුද හමුදා තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණතාවයන් සමඟින් හමුදා අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරමින් රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට යුද හමුදාව විසින් දක්වන ඉහල කාර්යභාරය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අගය කළේය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  (මැයි 30) යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ විසින් පිළිගනු ලැබීය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ආනන්ද ජයරත්න සහ කර්නල් සේනාවිධායකවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරයා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අංශයට ගොස් එහි මෙහෙයුම් සහ නිෂ්පාදන පිළිබඳව දැනුවත් වන ලදි.

යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්ඒඩබ්ලිව්කේ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed