නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස සරණාගතයෝ ඉල්ලා සිටිති — මෙලනි මානෙල් පෙරේරා

කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ (UNHCR) රැකවරණය යටතේ සිටින සරණාගතයින් එම මධ්‍යස්ථානය, එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිත බැවින් තම නැවත පදිංචි කිරීමේ ක්‍රියා පටිපාටි කඩිනම් කරන ලෙස ඉල්ලා මැයි 23 දා දහවල් එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
පාකිස්ථාන ජාතිකයින් කිහිප දෙනෙකු විසින් ම තමන් මුහුණ දී සිටින ප්‍රශ්නයට විසදූම් ඉල්ලා සිටිමින්, විවිධ ඉල්ලීම් සටහන් කළ පුවරු අත දරමින් ,”වෙනත් රටක පදිංචියට යෑමේ ක්‍රියාවලිය” කඩිනම් කරදෙන ලෙසට එක්සත් ජාතින්ගේ සරණාගත නියෝජීත ආයතනය ඉදිරිපිට දී විරෝධාතාවක් දියත් කරමින් කියා සිටියහ.

“කරුණාකර නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න.”, “තීරණය ඉක්මනින් දෙන්න, අපිව මැරෙන්න යවන්න එපා”, “සරණාගතයින් යනු මිනිසුන් මිස ඉලක්කම් නොවේ. අපට නැවත පදිංචි කිරීම් ලබා දෙන්න” , “අපව ආපසු යැවීමෙන්, ඔබ අපගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරයි.” , සහ “සරණාගතයින් විවිධ ප්‍රජාවන්ට බෙදන්න එපා. සැමදෙනාම සමාන වන අතර ගෞරවයෙන් හා ගෞරවයෙන් ජීවත් වීමට අයිතියක් ඇත.” , “සරණාගතයින් වඩාත් සුදුසුයි! අපට නිෂ්ඵල ලෙස මිය යාමට ඉඩ දීම නවත්වන්න.” සහ “UNHCR අපව පිළිතුරු සඳහා රැඳී සිටීම නවත්වන්න. අපට බලා සිටිය නොහැක.” යනාදි වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම් සහිතව, මෙම පුවරු ලියා තිබුණි.

“අපිට පොඩි ළමයි ඉන්නවා එයාලට අනාගතයක් නෑ. එයාලට මෙහෙ ඉස්කෝල නෑ. මමවත් මගේ අනාගතය ගැන දන්නේ නැහැ. ඒ නිසා අපි UNHCR එකෙන් ඉල්ලනවා අපේ නැවත පදිංචි කිරීම් ඉක්මන් කරන්න කියලා.” ඇය කිවේය.“මගේ ජීවිතය නාස්ති කරවන්න එපා” කියා බෝඩ් ලෑල්ලක් ඔසවාගෙනඑහි සිටී කුඩා දරැවෙකු ද මාධ්‍යයට කතා කරමින් “මට නිදහස් රටකට යන්න ඕනා. මට අලුත් ඉස්කෝලෙකට යන්න ඕනා. මට මගේ අනාගතය අවශ්‍යයි, මට යුක්තිය අවශ්‍යයි. ” යනුවෙන් පැවසුවාය.

වසර 10ක් මෙහි ශ්‍රී ලංකාවේ ජීවත්වන තවත් පකිස්ථානු ජාතික කාන්තාවක් ද පැවසුවේ තවමත් ඔවුනට නැවත පදිංචි කිරීමක් සිදු වී නොමැති බවයි. නැවත පදිංචි වීමට නිශ්චිත රටක් නැත. අපිට මෙහෙ වැඩ කරන්න බෑ. අපේ දරුවෝ අධ්‍යාපනයක් නැතිව මෙහේ ජීවත් වෙනවා. දැන් අපිට තියෙන බය තමයි UNHCR ඔෆිස් එක ඉක්මනට වැහුවොත් අපිට සහය දෙන්නේ නැහැ එතකොට අපිට මොකද වෙන්නේ?යැයි අැය කීවේය.
පකිස්තානයේ සිට පැමිණි තවත් පුද්ගලයෙකු මෝජෝ නිවුස් සමග අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ කාලයක සිට වෙනත් රටක නැවත පදිංචි වීමේ අපේක්‍ෂාවෙන් පසුවු සිය පියා, මිය ගිය බවත් , ඔහුගේ බිරිඳ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත්, දැන් ඔහුගේ වයස 14ක් වන පුතා ද අධීක රුධීර පීඩනයෙන් පෙළෙන අතර උදේ සවස බෙහෙත් පාවිච්චි කරන්නට සිදුවී ඇති බවත්ය.
“කරුණාකර අපව තුන්වන ලෝකයේ රටකට යවන්න. මෙහි අපට රැකියා කළ නොහැක. සිල්ලර බඩු මිලදී ගැනීම ඉතා අපහසුය. ආහාර, බෙහෙත් සහ නිවාස කුලිය ඉතා ඉහළ ය. අපට මෙහි ජීවත් විය නොහැක.” යැයි ඔහු කීවේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කියා සිටියේ , සාමාන්‍යයෙන් කුමන රටකින් හෝ සරණාගතයින් මේ රටට පැමිණි විට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන බවත් පසුව සම්මුඛපරීක්‍ෂණයක් සිදුකර ඔවුන්ට සරණාගතභාවය ලබාදෙනවාද නැද්ද යන්න කොමසාරිස් කාර්යාලයෙන් තීරණය කරන බවයි.
“මේ අයගේ එක ඉල්ලීමක් තමයි ඒ තීරණය ඉක්මනට ලබාදෙන්න කියන එක. සමහර අය වසර ගණනක් බලාගෙන ඉන්නවා ඒ තීරණය ලබාදෙනකම්. ඒ කියන්නේ ඒ අය තමා දන්නේ නැහැ එයාලට සරණාගතභාවය ලැබෙයි ද නැද්ද කියලා. එයාලගේ අනෙක් ප්‍රධාන ඉල්ලීම තමයි හැකි තරම් ඉක්මනට එයාලාට ස්ථීර පදිංචිය සඳහා යෑමට අවස්ථාව ලබාදෙන්න කියලා.”යැයි රුකී ප්‍රනාන්දු කීවේය.
එමෙන්ම, ලබන වසර වන විට ඔවුන්ට ලබාදෙන සහය සීමා කරන බවට හෝ එසේත් නැතිනම් එම ස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමන බවට UNHCR විසින් දැනුම්දීම හේතුවෙන් මෙම සරණාගතයින් දැඩි බියට පත්ව ඇති බවත් රුකී ප්‍රනාන්දු පැවසීය.
ශ්‍රී ලංකාව තුළ අද දවස වන විට දළ වශයෙන් පාකිස්ථානයෙන් , මියන්මාරයේ රොහින්නියා සරණාගතයින් , ඇෆ්ගනිස්ථානයෙන් , යේමන් , සිරියා , නයිජීරියා යන විවිධ රටවලින් පැමිණි සරණාගතයින් 800ක් පමණ සිටින බව මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීගමුවේ සහ පානදුර, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල ජීවත් වෙති.