සෑම සහතිකයක්ම කෙටි කාලයක් තුළ එකම වහලක් යටින්

 

විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ඇතුළු උප්පැන්න, විවාහ සහ මරණවලට අදාළ සියලුම ලියකියවිලි ලබාගැනීම සඳහා සුහුරුපාය ගොඩනැඟිල්ල එකම ස්ථානයකට පත් කරන බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කළේය.

“ඒ ඇරෙන්න රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සුහුරුපාය ගොඩනැගිල්ලට ගේනවා.” යැයිද ඔහු පැවසීය.

මෙම නව පියවර පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු දන්වා සිටියේ මාස දෙකක කාලය තුළදී එක මළුව මහජනතාවට විවෘත කරන බවයි.

 

මෙම එක් නැවතුම් පොළ විවෘත කිරීමෙන් පසු ජනතාවට කිසිදු කරදරයකින් තොරව ඉහත සියලුම ලියකියවිලි එම ගොඩනැගිල්ලෙන්ම ලබා ගැනීමට හැකිවන බවද ඇමැතිවරයා කීය.

එ‍ම‍ෙන්ම, ජුනි මස අවසන් වන විට ප්‍රමාදයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා නව මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කරන අතරම මෙම වසර අවසන් වන විට විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

“ඡායාරූප සහ ඇඟිලි සලකුණු එකතු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පනහක එම නව මධ්‍යස්ථාන 50 ස්ථාපිත කරනවා,” ඔහු පැවසීය.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අනුබද්ධ තවත් ශාඛා පහක් ද ආරම්භ කරන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *