අරගලයෙන් පණ පෙවුණු වීදියේ ආහාර සැණකෙළිය -ඉරෝෂිණී දීපිකා

නයිට් ක්ලබ්වල රෑ එළි වනතුරු විසි කරන්නට සල්ලි ඇති සුපිරි පන්තියේ අතළොස්සකට හැරුණු විට, ඊට පහළ පන්තිවල උදවියට කොළඹ රාත්‍රිය ‘පට්ට බෝරිං’ය. එහෙත් දිවා රෑ දෙකේම පාරට නොබැස නොසිටින්නට බල කෙරුණු අරගල සමය, ඒ ජීවිතවලට දේශපාලන අරුතක් මෙන්ම සංස්කෘතික අරුතක්ද එක් කළේය. ඊට සමාන්තරව, තවත් පිරිසක් ජීවන අරගලයට මුහුණ දෙන්නට විවිධ ආහාර වර්ග සහ දන මන පිනවන අපූරු ශිල්ප ක්‍රම රැගෙන වීදියට පැමිණියෝය. මේ දෙපිරිස වීදියේදී මුණගැසිණි. මේ වන විට දඟ කරන වියේ පසුවන, කොළඹ ‘වීදි ආහාර සංස්කෘතිය’ ඒ අපූරු සුසංයෝගයේ ප්‍රතිඵලයකි!
කොළඹ අබ්දුල් හමීඩ් වීදිය
තැනෙක ගොජ ගොජ ගා පෙණ පිඬු නැඟෙන තෙල් තාච්චිවලට කෑම හෙළන වැඩකරුවන්ය. තවත් තැනෙක පොල්කටු අඟුරු දුමින් දැවෙන බීබිකිව්, පදමට පුලුස්සන කෑම බාස්ලාය; වීදුරු මත පොපියන ‘ෆුල්ජා සෝඩා’ය; ‘බාදම් කිරි’ය. තවත් තැනෙක මෙතෙක් ඇස නොගැටුණු අමුතුම අමුතු විජ්ජාවකි. ඒ අන් කවරක්වත් නොව, බිස්කට්ටුවක් කන තැනැත්තාගේ නැහැය සිසාරා දුම් කැරැලි පාවෙමින් අමුතු ආස්වාදයක් ජනිත කරවන ‘ස්මෝකි බයිට්’ය. වීදියේ කොතැන බැලුවත් අමුතු සිරියකි.
විදුලි මිණි පහන් යට හරි අපූරුවට මැවෙන මේ සුන්දර මනරම් ලෝකය ඇත්තේ කොළඹ අබ්දුල් හමීඩ් වීදියේය. අලුත්කඩේ අලුත් කරන කඩ පිරුණු මේ වීදියට ඇතුළු වන්නනන්ට, ලෝකයේ නෙක් පෙදෙස්වල කෑම වර්ගවල සුවඳ, ක්ෂණයකින් නැහැය විනිවිද යනු හැඟෙයි. ඒ තරමටම එය රසගුලාවකි; නවමු අත්දැකීමකි.
‘ත්‍රීවිල් එපා වුණු’ ශාබ්දීන්
“හප්පා… අද නම් හරි රස්නෙයි. හරි හමන් ගාණක් සෙට් වුණොත් හොඳයි.” බාදම් මිල්ක්, ෆුල්ජා සෝඩා සකසන අබ්දුල් ශාබ්ධීන් සවස හතර වන විට කඩයට ගොඩ වුණේ දවසේ මෙහෙවර ඇරැඹීමටය. වසරකට පෙර ඇරැඹි අලුත් රැකියාවට ඔහු පෙම් බැන්දේ ආර්ථික අර්බුදයේ සේයා ඇඳෙමින් පැවැති යුගයේදීය.
“මම කලින් රැකියාව විදියට කළේ ත්‍රීවීලර් හයර් කරන එක. පහුගිය කාලෙ තෙල් පෝලිම් නිසා ඒ රස්සාව එපා වුණා. දවස් ගණන් රෑ එළිවෙනකම් නිදි මරලා තෙල් බිඳක් හොයා ගත්තට පස්සේ හයර් යන්න මිනිස්සු නෑ. ත්‍රීවීල් හයර් එකක ගාන වැඩි වුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැතිකොට හයර් එකකට වියදම් කරන්නෙ කොහොමද? ඒ අය අත්‍යවශ්‍ය ගමන් හැර අනෙක් ගමන් නැවැත්තුවා. යන ගමනත් බස්වලින්, බයිසිකල්වලින් යන්න ගත්ත නිසා, හන්දියට වෙලා දවස පුරාම ඈණුම් ඇර ඇර ඉඳලා ගෙදර එන්න වුණා. කිව්ආර් කෝඩ්, පෙට්‍රල් ප්‍රශ්න මට ත්‍රීවීලර් රස්සාව එපා කළා. මේ රස්සාව හොඳයි. හවස හතරට පටන් ගත්තාම පාන්දර තුනහමාර හතර වෙලා තමයි මෙතැනින් යන්නේ. අලුත්කඩේ වීදි වෙළෙඳාම ආරම්භ කරලා අවුරුදු පහක් වගේ ගත වුණත්, මේ ස්ථානය ප්‍රසිද්ධ වුණේ අරගල කාලයෙදියි. යූටියුබ්වල, ටික්ටොක්වල ප්‍රචාරය වෙන්න ගත්තට පස්සෙ මේ ස්ථානය ප්‍රසිද්ධ වුණා. අපට මේකෙන් ලැබෙන ආදායමත් හොඳයි. දැන් හිතටත් සතුටුයි.”
ආර්ථික අර්බුදයේ කළු වලා රටම වෙළා ගනිද්දී, වීදියට බට වෙළෙන්දෝ රටේ ආහාර සංස්කෘතියට නවාංග එක්කාසු කළහ. එලෙස ගොඩනැඟුණු සංස්කෘතික පාරාදීස අතරට, අලුත්කඩේ, කිඹුලාවල, කැස්බෑව – පිළියන්දල අතුරු මඟ ආදී පෙදෙස් වීදි ආහාර සංස්කෘතියට අපූර්වත්වයක් ජනිත කළේය. ඒ ඒ පෙදෙසට අනන්‍ය ලක්ෂණ කැටි කර ගනිමින් ඇරැඹි මේ වීදි වෙළෙඳාමට යොමු වීමට ඔවුනට විවිධ හේතු කාරණා බලපා ඇත.
පාරට බැස්සේ ඇයි?
ගෝල්ෆේස්, අලුත්කඩේ, කිඹුලාවල, බම්බලපිටිය, කැස්බෑව – පිළියන්දල අතුරු මඟ ආදි ස්ථානවල වෙසෙන වෙළෙඳුන් සහ වෙළෙන්දියන් පනස්දෙනකුගෙන් යුතු අහඹු නියදියක් ඇසුරින් කළ සමීක්ෂණයකට අනුව, ඉන් සියයට 36ක් මේ වෘත්තියට යොමු වී ගතව ඇත්තේ මාස හයකටත් අඩු කාලයකි. ඉන් සියයට 16ක් මාස හයත් අවුරුද්දත් අතර කාලයේ වීදියට බැස ඇත. ඒ අනුව, සියයට 52ක් පමණ දෙනා ආර්ථික අර්බුදයෙන් පසුව වීදි වෙළෙඳුන් ලෙස පාරට බැස ඇති බව පැහැදිලිය. සියයට 12ක් වීදියට පැමිණ ඇත්තේ වසර දෙකක කාලය තුළදීය. සියයට 16ක් වසර තුනක් තුළද, සියයට 12ක් අවුරුදු හතරක් ඇතුළතද, සියයට 8ක් අවුරුදු පහක කාලයක් තුළද වීදි වෙළෙඳුන් ලෙස වෙළෙඳාමට යොමුව ඇත.
යොමු වීමේ විවිධ හේතු
ඔවුන් වීදි වෙළෙඳාමට යොමු වීමට ප්‍රධාන වශයෙන් හේතු කාරණා කිහිපයක් බලපා තිබුණි. එම පනස්දෙනාගෙන් සියයට අටක් මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී ඇත්තේ කොවිඩ්වලින් පසු රැකියාව අහිමි වීම නිසාය. රැකියාවේ වේතනය දරු පවුල රැක ගනිමින් ජීවත් වීමට ප්‍රමාණවත් නොවීම, මේ වෘත්තියට පැමිණීමට හේතු ලෙස සියයට 24ක් දෙනා පැවසූහ. අහිමි වූ රැකියාවට තාවකාලික විසඳුමක් ලෙස සියයට අටක්ද, කිරීමට වෙනත් රැකියාවක් නොමැති නිසා රැකියාවක් ලෙසම මේ වෘත්තිය තෝරා ගත් පිරිස සියයට 32ක්ද වේ. වාහනයේ ලීසිං ගෙවා ගැනීම සඳහා සියයට 4ක්ද, දෛනික අමතර වියදම් සඳහා සියයට 16ක්ද, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වැනි වෙනත් හේතු මුල් කරගෙන මේ ක්ෂේත්‍රයට පැමිණි සියයට අටක්ද වෙති.
මේ සියලු කාරණා දෙස බලන විට පැහැදිලි වන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම නිසාවෙන් බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයට යොමුව ඇති බවකි.
ඇඟලුමෙන්- පූරියට
කැස්බෑව – පිළියන්දර අතුරු මාවත ‘හෙවත් බයිපාස් රෝඩ් එක’ මෑතක සිට සරුවට වැඩෙන වීදි ආහාර වෙළෙඳපොළකි. දර්ශනී ප්‍රියංගිකා, ඒ අතුරු මාවතට පය තැබුවේ, සිය සැමියාට සවියක් වන්නටය.
“මගේ මහත්තයා රජයේ ව්‍යාපාරික ආයතනයක මැනේජර්වරයෙක්. මම ඇඳුම් මහලා කීයක් හරි හොයා ගත්තා. ඒ දවස්වල ඇඳුම් මහලා විකුණන එක ලාභ වුණාට, අමුදුව්‍ය වියදම් ඒක්ක බලද්දි දැන් ඒක පාඩුයි. අපි පාරට වැටුණෙ මේ ආර්ථික අර්බුදය නිසයි. අපි පිළියන්දල පැත්තේ කුලී නිවෙසක ජීවත් වෙන්නේ. පඩිය එක තැන තිබුණට වියදම් තුන් ගුණයකින් විතර ඉහළ ගියා. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙන්න ගත්තා. ඒ නිසා මම මාස තුනකට විතර කලින් පූරි විකුණන්න කැස්බෑව – පිළියන්දල අතුරු මඟට ආවා.
“බොහෝ අය පූරි ගෙන්වන්නෙ ඉන්දියාවෙන්. ඒත් රුලංවලින් මේ පූරි හදන්නෙ මමමයි. අල මසාලා, මී කිරි, පැණි රස කියන වර්ග තුනෙන් පූරි ගන්න පුළුවන්. මසාලා ඒකක් රු.150යි. මී කිරි ඒකක් රු.130යි. ස්වීට් ඒකක් රු.100යි. මේ වෙළෙඳාමෙන් මට හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන්. සාධාරණ මිලකට අලෙවි කරන නිසා, මට හුරු වුණ පාරිභෝගිකයො පිරිසක් ඉන්නවා.” දර්ශනී ප්‍රියංගිකා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවූ හැටි පැවසුවාය.
මීට මාස හයකට පමණ පෙරදී බදුල්ලේ සිට සෙල්වේන්ද්‍රන් කොළඹට පැමිණියේ, අහස උසට නැඟි වියදම් නිසා, ජීවන අරගලයට සහනයක් සොයාගෙනය.“මම දවාලට රැකියාව විදියට කරන්නේ ත්‍රීවීලර් හයර් කරන එක. හවස හයට ගෝල්ෆේස් වඩ තට්ටුවට එනවා. මමමයි මේ කෑම හදන්නේ. පාන්දර දෙක විතර වෙනකම් ඉස්සො වඩේ, කකළුවො, උළුඳු වඩේ සහ රොටී විකුණනවා. බෝඩිමට ගිහින් ටිකක් නිදාගෙන ආයෙ උදේට හයර් යනවා. ඕක තමයි ජීවිතේ. හරිම දුක්බරයි. එන්න එන්නම වියදම් අධිකයි. හම්බ කරන මුදල මදි ජීවත් වෙන්න. ඒකයි මේ වගේ රස්සාවල් දෙකක් කරන්න වුණේ.”
පීඩනයෙන් මතු වූ රස!
කුඩාවට වීදි කඩයක් කරන පිළියන්දල මකුළුදූවේ ලසිතා ජයකොඩි, හොට්ඩොග්, චිකන් ශවර්මා, සැන්ඩ්විච්, සබ්මැරීන් වැනි විවිධ කෑම වර්ග සහ ඉඟුරු තේ අලෙවි කරන කාන්තාවකි. ඇයට අනුව ඇය පාරට වැටුණේ පසු ගිය කල රකුසු වෙසින් පැමිණි ආර්ථික අර්බුදය නිසාය.
“මේ දවස්වල වෙළෙඳාම ටිකක් හොඳයි. මහත්තයා උපයන ආදායම ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති නිසා තමයි මං පාරට බැස්සේ. කෑමවල අමුද්‍රව්‍යවලට හරි වියදම්. ඒත් සාධාරණ මිලට මං කෑම අලෙවි කරනවා. මගෙන් කෑම ගන්න පුරුදු වුණ පිරිසක් වගේම, පාරෙ යද්දි දැකලා එන පිරිසත් නිසා, රෑ දහය විතර වෙනකොට මට සෑහෙන ආදායමක් හොයා ගන්න පුළුවන්.”
මේ කතාබහට එක්වූ පිරිස් අතුරින් සෑම දෙනාම පැවසුවේ ආරම්භයට වඩා ආදායම් වැඩි බවකි. දිනෙන් දිනම ප්‍රගතියක් ලද බව ඔවුහු පවසති. සෑම දෙනාම තමන් විසින්ම කෑම සකසන බවත්, පාරිභෝගිකයාට පිරිසුදුව ආහාර පිරිනමන බවත්, ඒ විශ්වාසය නිසාම තමන්ටම කියා වෙනම පාරිභෝගික පිරිසක් නිර්මාණය වී ඇති බවත් පැවසූහ.
ඔවුන්ට අනුව බොහෝ දෙනා ආහාර මිලදී ගැනීමට පැමිණෙන්නේ පහසුව, විවිධත්වයක් ලබා ගැනීම, කාර්යබහුල ජීවන රටාවේ ආතතියෙන් මිදීම, වීදි ආහාර සංස්කෘතිය අත්විඳීම, අලුත් නම්වලින් හැඳින්වෙන විවිධ ආහාර සංස්කෘතිවල ආහාර වර්ගවල රස බැලීම, යහළුවන්, ඥාතීන් සමඟ සුහදතාව බෙදා ගැනීම, රැකියාවේ සහ ගමන් වෙහෙස නැති කර ගැනීම ආදී බහුවිධ අරමුණු වෙනුවෙනි. සහනදායී මිලකට ආහාර මිලදී ගත හැකි වීම, ආකර්ෂණීය බව, සුහදශීලි ලෙස පිළිගැන්වීම, මිලදී ගැනීමේ පහසුව, සැකසූ මොහොතේම උණු උණුවේම ආහාරයට ගත හැකි වීම වැනි විවිධ කරුණුද පාරිභෝගික ආකර්ණයට හේතු වී තිබේ. අලුත්කඩේ සහ කිඹුලාවල වීදි ආහාර වෙළෙඳුන් පවසන පරිදි සෞඛ්‍ය පරීක්ෂකවරු නොදන්වා සිය ආහාරවල සුරක්ෂිතතාව පරීක්ෂා කිරීමට පැමිණේ. එහෙත් සමහර වීදි ආහාර එසේ පරීක්ෂාවට ලක් නොවේ.
කිඹුලාවලට කෙනෙහිලි
අලුත්කඩේ වීදි වෙළෙඳුන් පවසන පරිදි ඔවුන්ට ගැටලු නැත. ඇත්තේ වාහන තදබදය නිසා මුහුණ දෙන ගැටලු පමණි. තමන් සැවොම සාමකාමීව කටයුතු කරන බවත්, ඉඳහිට හෝ ගැටලුවක් ඇති වුණොත් දුරදිග නොයන පරිදි සැවොම එක්ව ගැටලු විසඳා ගන්නා බවත් ඔවුහු පවසති. ගෝල්ෆේස් වෙළෙඳුන්ට සහ පිළියන්දල – කැස්බෑව අතුරු මඟේ සිටින්නන්ටද ගැටලු නැත. එහෙත් කිඹුලාවල වීදි වෙළෙඳුන් පොදුවේ මේ වන විට ගැටලුවකට මුහුණදී සිටී. ඒ ආර්ථික අර්බුදය නිසා මඟට වැටුණු ඔවුන්ට මහමගද අහිමි වීමේ අවදානමකට ලක්වීමය. ඒත් අනෙක් වීදි ආහාර වෙළෙඳුන් කිසිවකුට නැති සහනයක් ඔවුන්ට ඇත. ඒ විධිමත් සංගමයක් ලෙස ඔවුන් ඒකරාශී වී සිටීමය. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාරට බට ඔවුන්ට, මේ ස්ථානය අහිමි වුණොත් වෙන්නේ කබලෙන් ළිපට වැටීමට සිදු වීමකි. එහෙත් සංගමයක් ලෙස ඒකරාශී වී සිටීම නිසා ඔවුන්ට ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව උදා වෙමින් ඇත. ඒ පිළිබඳ කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් සොසයිටි ලිමිටඩ්හි සභාපති සිසිර දිසානායක මහතා පැවසුවේ මෙවන් අදහසකි.
“රජයෙන් ස්ථානයක් ලබා දීමට නියමිතයි. අපේ ගම පරිශ්‍රයෙන් කොටසක් වෙන් කරන බව ප්‍රසන්න ඇමැතිතුමා අපට කිවුවා. ඒත් තවම අපට ඒ ස්ථානය ලැබුණෙ නෑ. අපේ කමිටියේ සාමාජිකයො විස්සක් ඉන්නනවා. ඒ හැමෝටම විසඳුමක් දෙන බව ඇමැතිතුමා කිව්වා.
මෙතැනට විදේශිකයෝ, නළු නිළියො, ප්‍රභූවරු, ගායක ගායිකාවො, ධනවත් හැමෝම ආවා. ඒ අප ගුණාත්මක, පිරිසුදු ආහාර ඔවුන්ට ලබා දෙනවා කියන විශ්වාසය නිසයි. ඒ විශ්වාසය ඇති වුණේ අපේ හැම ස්ථානයකම කෑම හදන විදිය පාරිභෝගිකයන්ට බලාගෙන ඉන්න පුළුවන් නිසයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව අපි කෑම එක හදලා දෙනවා. අපේ දියුණුවට හේතු වුණේ එයයි. ඒත් පසුගිය කාලෙ ඇතිවුණ ප්‍රශ්න නිසා මේ වන විට මෙතැනට එන පාරිභෝගික පිරිස අඩුවෙලා. මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ වීදි කඩ ඉවත් කරන බව කිවුවා. පොලිසියෙන් දැම්මා. පාරිභෝගිකයන් පැමිණෙන, නතර කර තිබෙන වාහනවලට
දඩ කොළ ලිවුවා. මේ නිසා දැන් මෙතැනට එන පිරිස අඩුවෙලා. මෙතැන සෙනඟ පිරෙන්න ගත්තාම වටේ තියෙන හෝටල් වහන්න වුණා. වීදි කඩ ඉවත් කරන්න කියන තැනට එන්න මේ අය කළ බලපෑම් හේතු වුණා. සංවර්ධනය වන රටකට මේ වගේ ආහාර සංස්කෘතියක් තිබීම වැදගත්. රජය අපේ ගම ලබා දුන්නට පස්සේ අප මේ සංස්කෘතිය වර්ණවත් කරමින්, ගුණාත්මක නිෂ්පාදන ප්‍රමිතිගතව පාරිභෝගිකයාට ලබා දීමට බලාගෙන ඉන්නවා.”
ප්‍රමිතියක් නැතිව බෑ
නන්නත්තාරේ යන වීදි ආහාර සංස්කෘතියක් නොව, පාරිභෝගිකයාට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබා ගත හැකි ලෙස වීදි ආහාර සංස්කෘතිය ප්‍රමිතිගතව වර්ධනය කළ යුතුය. නීතිය හා සමාජභාරය වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ සඳුන් තුඩුගල මෙරට වීදි ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනයට ගතහැකි පියවර පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
“පෙට්ටි කඩ වැනි දේ තිබුණත් අපේ සංස්කෘතිය තුළ වීදි ආහාර සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබුණෙ නැහැ. ඒත්, පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙය සමාජය තුළ ඉස්මතු වුණා. කොවිඩ් කාරණා සමඟ රැකියා අහිමි වුණ මධ්‍යමපාන්තිකයො වාහනවල ඇවිත් ඌරු මස් සමඟ රොටී වගේ ආහාර විකුණන ක්‍රමයක් ගොඩනැඟුණා. මේ විදියට ආවෙ වීදි ආහාර සංස්කෘතිය ගැන යම්කිසි අදහසක් තිබෙන අයයි. මෙය විශේෂයෙන් කොළඹ සහ තදාසන්න පෙදෙස්වල ව්‍යාප්ත වෙන්න පටන් ගත්තෙ මේ නිසයි. ඒත් අපේ සමාජය තුළ වීදි ආහාර සංස්කෘතිය තවමත් ලොකු කොටසක් නියෝජනය කරන්නෙ නැහැ.
“මෙය කර්මාන්තයක් මෙන්ම සංස්කෘතියක් ලෙස අඳුනගෙන, වීදි ආහාර ආරක්ෂිතව ජනතාවට සැපයීම සම්බන්ධයෙන් ප්‍රමිති හඳුන්වා දිය යුතුයි. දැන් තියෙන්නේ තමන්ට හිතුණාම වීදියට බැහැලා ආහාර විකුණන ක්‍රමයක්. ඒත් විය යුත්තේ යම්කිසි ප්‍රදේශයක් අඳුනගෙන, ඒ සඳහා යොමු වන අයට අවශ්‍ය පුහුණුව, සහතිකයක් දීලා, මෙය විධිමත්ව කිරීමයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විධිමත් අධීක්ෂණයක් මේ සඳහා තිබිය යුතුයි. නගරසභාව; ඊට අදාළ පාලන අධිකාරිය අවශ්‍ය පහසුකම් සලකා බැලිය යුතුයි. සමස්ත ආර්ථිකයේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව වීදි ආහාර වෙළෙඳාම ගොඩදාන්න බැහැ. ඒ නිසා සමස්ත ආර්ථිකයම ගොඩ ගැනීමේ වැඩපිළිවෙළකට පැමිණිය යුතුයි.
“කොවිඩ් ආවත්, ආර්ථික අර්බුදයක් ආවත් මේ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අයගේ රැකියා තමයි අහිමි වෙන්නෙ. ඒත් මේ වෙද්දි අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන තැනක් ඉෂ්ට කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අයයි. ඒ අය අඳුනගෙන ආර්ථිකය තුළ ඔවුන්ගේ අභිවෘද්ධිය, ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද කියා සොයා බලලා, සැලසුම්වලට ඒවා ඇතුළත් කළ යුතුයි. මේ අයට වන හානිය පිළිබඳ රජය කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජයේ මූලික ආර්ථික සැලසුම්වල සුළු හා මධ්‍ය පරිමාණ අවිධිමත් ක්ෂේත්‍රයේ වෙළෙඳාම් කරන අය ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස සලකලා ගනුදෙනු කළ යුතුයි.”
‘ආර්ථික අර්බුදයේම පැතිකඩක්’
එය කෙතරම් දුරට වර්ධනය වීමේ හැකියාවක් පවතීද? කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් දිසානායක ඒ ගැන මෙසේ අදහස් දැක්වීය.
“පසුගිය මාස හයක වගේ කාලය ඇතුළත වීදි ආහාර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා. මෙයට මූලිකව බලපෑවෙ කොවිඩ්. ඊට පසුව එළැඹි ආර්ථික අර්බුදය සමඟ බොහෝ අයගෙ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථිකය කඩා නොවැටුණත්, සමහරුන්ට ලැබුණ ආදායමෙන් වියදම් රටාව පවත්වාගෙන යන්න බැරි වුණා. උදාහරණයක් විදියට ගත්තොත්, සැමියා රැකියාවට ගිහින් බිරිය ගෘහණියක් විදියට හිටියා නම්, දැන් බිරිය ඇවිත් මහමඟ තියාගෙන බත් පැකට් හරි විකුණන්න පටන් අරන්. මින් දිස් වන්නේ, ආර්ථික අර්බුදයේම පැතිකඩක්; ඒ ආර්ථික අර්බුදයෙම ලක්ෂණ කිවුවොත් නිවැරැදියි. වීදි ආහාර වෙළෙඳාම සංස්කෘතියක් ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තත්, අපේ රටේ මිනිසුන් සතුව මුදල් නැතිකම, මෙය දිගටම පවත්වාගෙන යෑම සඳහා බාධාවක් වෙනවා. ඒ නිසා, ස්වයං රැකියාවක් ලෙස ඉදිරියට යන්න තරම් වීදි ආහාර සංස්කෘතියක් අපේ රටේ ගොඩනැඟෙන්නෙ නැහැ.”
‘කාන්තා ව්‍යවසායකයන්ට ශක්තියක්’
වීදි ආහාර සංස්කෘතියක් ගොඩනැඟීමට බලපෑ සමාජ ගැටලු පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී – පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අනූෂා වීරසිංහ මෙබඳු අදහසක් පළ කළාය.
“මේ වෙද්දි වීදි ආහාර වෙළෙඳාම සම්බන්ධයෙන් වැඩි පෙලඹවීමක් දකින්න පුළුවන්. පවුල තුළ ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සඳහා මෙය ක්‍රමෝපායක් බොහෝ දෙනා යොදාගෙන තිබෙනවා. අපේ රටේ වීදියේ පටන් ගන්නා වෙළෙඳාම් කටයුතු ටික කලකින් නතර වෙන එකක් තමයි අප මෙතෙක් කලක් දැක්කෙ. විධිමත් විදියට කළමනාකරණය නොකර ව්‍යාපාර ඇරඹීම මෙයට හේතුවක්. මේ නිසා ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අදාළ නිලධාරීන් ප්‍රදේශයට ගැළපෙන ව්‍යාපාර තෝරා දීමට උනන්දු විය යුතුයි. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමටත්, මාර්ගයේ තැනිය යුතු අලෙවිසැල පිළිබඳ ප්‍රමිති ඉදිරිපත් කිරීමත් කළ යුතුයි. එසේ ප්‍රමිතිගත අයුරින් මෙය ඉදිරියට කරගෙන ගියොත්, කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට සහ කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත්
කරන්න මෙය අවස්ථාවක් කර ගන්න පුළුවන්.”
වීදියට බැස අලුත් ආහාර සංස්කෘතියක් ගොඩනැඟුවේ ඔවුන්ය. ඒ ආර්ථික අර්බුදයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් ඒ සංස්කෘතිය මේ වන විට ශ්‍රී ලාංකේය සමාජය වර්ණවත් කරමින් ඇත. ඒ වර්ණවත් සිතුවම බොඳ වීමට ඉඩ නොහැර, ප්‍රමිතිගත සීමාවක් වෙත ඔවුන් රැගෙන යෑම, බලධාරීන්ගේ වගකීමය.
ඉරෝෂිණී දීපිකා
iroshinideepika30@gmail.com
ඡායාරූප- ආකාශ් ඉරිඳු ප්‍රභාත්
චමෝද් දෙව්මිණ
(අනුග්‍රහය හා උපදේශකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි)