අවසන් ගමන් ගිය ගෝටාගෝගම අරගලකරු ගැන ව්‍යාජ ලිපියක්

  අප්‍රේල් 18 වෙනි අඟහරුවාදා අවසන් ගමන් ගිය, ගෝල්ෆේස් (ගෝටා ගෝ ගම) අරගලයට ඉතා සමීපව සම්බන්ධව සිටි තරුණයෙකු විසින් ලියන ලදැයි පැවසෙන ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් පවතී.

එසේ හුවමාරු වන ලිපියේ දැක්වෙන පරිදි එම තරුණයා මියගොස් තිබෙන්නේ අරගලයට සම්බන්ධ වීම පිළිබඳව හටගත් කලකිරීම හමුවේ ගනු ලැබූ තීරණයක් හේතුවෙනි.

එහෙත් FactSeeker සමග අදහස් දක්වමින් මියගිය තරුණයාගේ සමිපම මිතුරෙකු වන කවීන් කාරියවසම් කියා සිටියේ, සිය මිතුරා විසින් ලියන ලදැයි පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එසේ හුවමාරු වෙමින් තිබෙන්නේ ව්‍යාජ ලිපියක් බවය.

සිය මරණයෙන් පසු මිතුරන් කිහිපදෙනෙකු වෙත ලැබෙන පරිදි සැලසුම් (schedule) කර තිබූ විද්‍යුත් ලිපියක් සිය මිතුරා තමන් ඇතුළු පිරිසක් වෙත යොමු කොට තිබුණ බව සඳහන් කළ කවීන් කාරියවසම්, අවසන් කටයුතු නිමාවන තුරු සිය මරණය පිළිබඳව “මාධ්‍ය සංදර්ශන” පැවැත්වීමෙන් වලකින මෙන් ඒ ලිපියෙන් විශේෂ ඉල්ලීමක් කොට තිබුණ බවත් කියා සිටියේය.

විශේෂයෙන්ම අවසන් කටයුතු නිමාවන තුරු තමන්ගේ නම සඳහන් කිරීමෙන් වැළකිය යුතු බව ඔහු මිතුරන් වෙත යැවූ විද්‍යුත් ලිපියේ තිබූ තවත් ඉල්ලීමකි.

කෙසේ වුවත් අදාළ ව්‍යාජ ලිපිය හුවමාරු වීමත් සමග, ඔහුගේ ඇතැම් සමීප සගයින් ද ව්‍යාජ ලිපියට විරෝධය පළ කර තිබුනේ සිය මිතුරාගේ නම සඳහන් කරමිනි.

ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වන සඳුනි සුදර්ශන පෙරේරා, “පැහැදිලි දේශපාලන සහ වෙනත් පටු අරමුණු සහිත යම් පිරිසක් විසින් ඔහු ලිව්වා සේ හැඟවෙන (අතින් ලියන ලද) ලිපියක් සකස් කර ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බවත් අපට වාර්තා වනවා. අප ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ව්‍යාජ ලිපිය හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත්, නොදැනුවත් කමින් හෝ එය බෙදාගත්තා නම් එය ඉවත් කරන ලෙසත්. කවුරුන් හෝ මේ ව්‍යාජ ලේඛනය දිගින් දිගට ම බෙදා හරින්නේ නම් ඊට එරෙහි ව නීතිමය පියවර ගැනීමට අප සූදානම්. එබැවින් එවැන්නක් දුටුවොත් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඉල්ලීමක් කර තිබිණ.

අරගල භූමියේ ප්‍රකට තරුණයෙකු වූ අනුරුද්ධ බණ්ඩාර ඒ පිළිබඳව ට්විටර් ඔස්සේ ද සටහනක් තබා තිබිණ.

ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වමින් අනුරුද්ධ බණ්ඩාර පවසන්නේ, “ඊයේ රාත්‍රියේ සිට මෙම ලිපිය සංවිධානාත්මක ගිනුම් කීපයක් මගින් බෙදා හරිනු නිරීක්ෂණය කරන ලද නමුත්, මෙම සිදුවීමේ ඇති සංවේදී මුහුණුවර හේතුකොටගෙන එය නොසලකා හැරීමට තීරණය කළ ද, අද වනවිට Dasatha Lanka News වැනි ප්‍රසිද්ධ යයි සැලකෙන පිටු සහ පුවත්පත් මණ්ඩලයේ සභාපති වන Mahinda Pathirana පවා මෙම ව්‍යාජ ලිපිය බෙදා හැරීමට සම්බන්ධව ඇති බව නිරීක්ෂණය,” වූ බවය.

FactSeeker ඒ පිළිබඳව පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මියගිය තරුණයා විසින් ලියන ලදැයි පැවසෙන ලිපි කිහිපයක්ම මේ අවස්ථාවේ හුවමාරු වෙමින් පවතින බැවින් ඒ අතරින් අව්‍යාජ ලිපිය කවරක් දැයි තමන් නොදන්නා බවය. පළමු ලිපිය ව්‍යාජ බව පෙන්වීම සඳහා වෙනත් අත් අකුරකින් ද එම ලිපියම ඉදිරිපත් වූ බව පවසන මහින්ද පතිරණ, “එම සාධකය ම ලිපිය සත්‍ය බව ඊටත් වඩා වැරෙන් තර්ක කරන බව,” ද කියා සිටියේය.

මේ අතර, ගෝටාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් වූ ගොල්ෆේස් අරගලයට සමීපව සම්බන්ධව සිටිමින් නිරන්තරයෙන් එය වාර්තා කළ තරුණ මාධ්‍යවේදී ශබීර් මොහමඩ් ෆේස්බුක් සටහනක් තබමින්, “My Brother, I’m praying for you,” යනුවෙන් සටහන් කොට තිබිණ.

අරගලයේ තවත් කැපී පෙනුණ තරුණියක වන මෙලනි ගුණතිලක ඉතාමත්ම හැගීම්බරව FactSeeker සමග අදහස් දක්වමින් කියා සිටියේ, අඩුම තරමින් පුද්ගලයෙකුගේ අවසාන ඉල්ලීමටවත් ගරුකිරීමට තරම් සමාජය සදාචාර සම්පන්න විය යුතු බවය.

උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed