තෙල් ගැල්වීමේ මහෝත්සවය මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී – නිමල් කොළඹිස්ස – මහනුවර

හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් මහෝත්සවය සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි උභය පාර්ශවීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
පෙරවරු නමය පසුවී මිනිත්තු හතළිස් එකට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාව බලා හිසතෙල් ගැල්වීම සිදුවුණු අතර මල්වතු හා අස්ගිරි පාර්ශවීය මහා සංඝරත්නය විසින් හිසතෙල් ගැල්වීම සිදුකරන ලදි.
ශ්‍රී දළඳා මාලිගාවේ ඇත් පන්තියට අයත් අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ද මෙහිදී සුබ මොහොතින් සිදුවිය.
මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, පුජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, ඓතිහාසික ශ්‍රී නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර හිමි ඇතුලු මහා සංඝරත්නය විසින් හිසතෙල් ගැල්වීම සිදුකරන ලදි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් අමාත්‍යංශ ලේකම්වරු, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.