පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීමට සැලසුම් – නිමල් කොළඹිස්ස

ජාත්‍යන්තර වෙළඳ පොල තුළ තරඟ කළ හැකි අයුරින් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය පවසයි.

වගාකරුවන් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට ඉහළ තරඟකාරී මිලක් ලබාදීම තුළින් ජාත්‍යන්තර වෙළඳ පොල ශ්‍රී ලංකාවට හිමිකර ගත හැකි බවත් එමගින් අපනයන ආදායම තව දුරටත් ඉහළ යන බවත් එම මණ්ඩලයේ සභාපතිනිය සඳහන් කළාය.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ 51 වන සංවත්සරය නිමිත්තෙන් පේරාදෙණිය ඒදඩුවාවේදී පැවැති උත්සවයකදී මාධවී හේරත් මහත්මිය ඊයේ (30) මෙම අදහස් පළ කළාය.

මෙරට භූමි ප්‍රමාණයෙන් ඉඩම් අක්කර ලක්ෂ 11ක ව්‍යාප්තවී ඇති පොල් වගා වපසරිය තව දුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි කී සභාපතිනිය අත්හැර දමා ඇති පුරන් කුඹුරු, මඩු ඉඩම්, වෙනත් භෝග වගා කළ නොහැකි ලවණ සහිත ඉඩම් තුළ පොල් වගා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි කීවාය.

ඒ අනුව වර්ෂ 2025 වන විට මෙරට වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනය මිලියන 3600ක් ද එය වර්ෂ 2030 වන විට 4000 දක්වා ඉහළ නැංවීමට පොල්වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කොට ඇතැයි ද ඇය සඳහන් කළාය. පුද්ගලයන් අටලක්ෂ පනස් දහසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා හිමිවී ඇති පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව තව දුරටත් ඉහළ නැංවිය යුතු වුවත් කෙටි කාලීන ප්‍රතිලාභ ලබා ගැනිමට නම් පොල් පොහොර යොදා පොල් ගසේ ඵලදායිතාව වැඩි කර ගත යුතු යැයි ඇය පෙන්වා දුන්නාය.

පරිභෝජනය සඳහා වැඩි පොල් ප්‍රමාණයක් වෙන් කළ යුතු බැවින් කර්මාන්ත සඳහා ඇතැම් විට පොල් හිඟයක් මතු වන බවත් පොල් නිෂ්පාදනය ආරම්භ කිරීම මගින් අවශ්‍ය ඉල්ලුමට සරිලන සැපයුමක් සිදුකළ හැකි බව ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *