කොටගල නගරයේ ගෘහ භාණ්ඩ වෙළෙඳසැලක් හා නිවසක් ගින්නෙන් අලු වෙයි -හැටන් – චන්න අද්දරගේ

කොටගල නගරයේ වුටන් කඩවීදියේ පිහිටි ගෘහ භාණ්ඩ වෙළෙඳසැලක් හා නිවසක ඇති වු ගිනි ගැනීමකින් එම දේපොළ වලට බරපතල හානි සිදුව ඇති බව දිඹුලපතන පොලීසිය පවයසි.
ගෘහ භාණ්ඩ වෙළෙඳසැලේ ඇති වු ගින්න පසුව එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පැවැති වෙළෙඳසැල් හිමිකරුගේ නිවසටද පැතිරී ගොස් එම නිවසද සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව පොලීසිය කියයි.
මෙම ගිනි ගැනීමෙන් තම වෙළෙඳසැලේ අළෙවියට තබා තිබු විදුලි උපකරණ, ලී බඩු, බයිසිකල්, ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් හා ඊට යාබදව පැවැති මිණි පෙට්ටි ඇතුළු මල් ශාලා උපකරණ විශාල තොගයක් ගිනි ගැනීමට හසුව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
මෙම වෙළෙඳසැලේ හිමිකරුගේ නිවසද එම ගොඩනැගිල්ලේ ඉහළමාලයේ පැවැති අතර, ගිනි ගැනීමෙන් නිවස මෙන්ම එහි පැවැති සියලුම භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. ගිනි ගැනීමෙන් තම වෙළෙදසැලට හා නිවසට රුපියල් කෝටි තුනකට අධික අළාභයක් සිදුව ඇතැයි එම වෙළෙඳසැලේ හිමිකරු රාමසුන්දරම් කරුපයියා මහතා කීය.
ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදු වු බවට වාර්තා වී නොමැති බවත්, විශාල දේපළ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව දිඹුලපතන පොලීසිය පවසයි.
දිඹුලපතන පොලීසියේ නිලධාරීන්, කොටගල යුධ හමුදා කදවුරේ නිලධාරීන්, කොටගල නගර වැසියන් හා ප්‍රදේශවාසීන් එකතුව ගින්න වෙනත් ගොඩනැගිලිවලට පැතිරීයාම වැළැක්වීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කිරීම හේතුවෙන් කොටගල නගරයේ ඇතිවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකියාව ලැබුණු බව නගර වැසියෝ පවසති.
කොටගල නගරයට ආසන්න නගරවල ගිනි නිවන රථ නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන රථ ගෙන්නවා ගැනීමට ආරක්ෂක අංශවලට සිදු වු අතර, එම රථ පැමිණෙන විටත් වෙළෙදසැල හා නිවස සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශයට පත් වු බවද නගර වැසියෝ කියති.
මෙම ගිනි ගැනීමෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි ගණනා වක පාඩුවක් සිදුව ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
දිඹුලපතන පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.