උපන් බිමේ ජීවිතය අහිමි තෙලිඟු නගර් වැසියෝ -කමණී හෙට්ටිආරච්චි 

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ‍දැනටමත් පත් වී වසරක කාලයක් සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාසයකට නොඅඩු කාලයකි. රටේ පාලකයන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සමස්ත ආර්ථිකය කඩා වැටීමට හේතු වූ අතර කොවිඩ් වසංගත තත්ත්වය එය තීව්‍ර කිරීමට පසුබිම සකස් කරනු ලැබී ය.

මෙම ආර්ථික අර්බුදය වඩාත් බලපෑම් ඇති කරනු ලැබූයේ, මෙරට සාමාන්‍ය ජනතාවට ය. ලංකාවේ ඇති වූ මෙම අධිඋද්ධමන තත්ත්වයෙන් වැඩිපුරම බලපෑම් ඇති වූයේ අඩු ආදායම්ලාභී පවුල්වලටය. එවැනි ප්‍රජාවන් හදුනා ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් නගා සිටුවීම සදහා කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් අරමුදල් සපයා ගනිමින් දියත් කිරීම රජයක වගකීම වේ. නමුත් එවැනි වැඩසටහන් දියත්වන බවක් මෙතෙක් නොපෙනේ. එවැනි සමාජ ආර්ථික පසුබිමක සමාජයේ ප්‍රධාන ධාරාවේ අවධානයෙන් ගිලිහුණු ප්‍රජාවක් සොයා යාමට ‘ඉන්ටර් නිව්ස්’ හි ‘නිව්ස් ලැබ්’ කණ්ඩායමේ අපි තීරණය කළෙමු. කොවිඩ් වසංගතයෙන් ද රටේ ආර්ථික බංකොලොත් බාවයෙන් ද  බැට කා ‘කබලෙන් ලිපට වැටුණු’  ඔවුන් සියවස් ගණනක් අපත් සමග ජීවත් වුව ද ප්‍රජාවක් ලෙස මූලික මානව අයිතීන් ද අහිමි වී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නල්ලූර් වීදිය ඔස්සේ වන දුෂ්කර ගමන් මාර්ගයේ කිලෝ‍මීටර් හතක් ගිය පසු තෙළිගු නගර් ගම්මානය හමුවේ. එහි වැසියන් කතා කරනුයේ ‘තෙළිගු’ භාෂාව ය. පවුල් 150 කට අයත් තෙළිගු බස කතා කරන පිරිසක් මෙහි වෙසෙති. මේ ගම්මානයේ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණේ, හදුන්කූරු නිෂ්පාදනය කිරීම සහ ෂොපින් බෑග්, ලන්ච් ෂීට්, සෙල්ලම් බඩු අලෙවි කිරීම යි. එසේම එදිනෙදා කුලී වැඩ කිරීම තවත් එක් ජීවනෝපාය මාර්ගයකි. මෙතැන් සිට දිග හැරෙනුයේ කොවිඩ් වසංගතයෙන් ද රටේ උග්‍ර ආර්ථික කඩා වැටීමෙන් ද තෙළිගු වැසියන්ගේ ජීවිතවලට එල්ල වූ බලපෑමේ ප්‍රමාණය පිළිබද ඔවුන් කියන කතාව යි.

”මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. කසාද බැන්දෙ නෑ. අම්මයි තාත්තයි ඉස්සර හදුන්කූරු හැදුවා. දැන් ඒවායේ අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින්. ඒවා මිලදී අරන් හදුන්කූරු නිෂ්පාදනය කරන්න අපිට වත්කමක් නෑ. ඒ බඩු ගන්න කොළඹ යන්න ඕන. බස් ගාස්තු වැඩි හින්දා කොළඹ ගිහින් එන්න වැඩි මුදලක් යොදන්න ඕනේ. ඒක අපිට දරා ගන්න බෑ. මමත් රස්සාවක් කරන්නේ නෑ. මම පොඩි කාලේ ඉස්කෝලේ යන්න ආසයි. ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා අම්මයි තාත්තයි වගේ දුක් විදින්නේ නැතිව ජීවිතය ගෙනියන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒත් තාත්තටයි අම්මටයි හදුන්කූරු බිස්නස් කරලා මාව ඉස්කෝලේ යවන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මම කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ. රටේ ඇති වුණු ප්‍රශ්න නිසා හදුන්කූරු ව්‍යාපාරයත් කඩා වැටුණා. දැන් අපිට ජීවත් වෙන්නවත් විදිහක් නෑ.”  එහිදී අපට හමුවූ වයස අවුරුදු 30 ක් වන රාධිකා සුප්පයියා තරුණිය පැවැසුවා ය. ”හොදම දේ දරුවන්ට” යැයි කියූ රාජ්‍ය නායකයින් සිටි රටක ”ආසියාවේ ආශ්චර්යයමත් රට” බවට ශ්‍රී ලංකාව පත් කරන බව කී පාලකයින් සිටි රටක රාධිකාලාගේ ඉරණම එසේ විසදී තිබිණි.

ශ්‍රී ලංකාවේ වෙසෙන තෙලිඟු ජන ප්‍රජාව දකුණු ඉන්දීය සම්භවයක් සහිත මෙරටට සංක්‍රමණය වූ ජන ප්‍රජාවකි. දකුණු ඉන්දීය කුවර් ගෝත්‍රයට සමානකම් දක්වන මොවුන්ව අතිතයේ කුණ්ඩික,අහිකුණ්ථික,පුල්ලරුවෝ,යන නම්වලින් ද හඳුන්වා ඇත.මේ වන විට 15,000 ක පමණ තෙලිඟු බස කතා කරන ජන ප්‍රජාවක් මෙරට වෙසෙන අතර මින් වැඩි සංඛ්‍යාවක් ජීවත් වනුයේ තඹුත්තේගම තෙලිඟු ගම්මානයේ ය.ඊට අමතරව අක්කරේපත්තුව, තිරුක්කෝවිල්, ගල්ගමුව, වව්නියාව, මිහින්තලේ, විජිතපුර වැනි ප්‍රදේශවල ද මෙම ප්‍රජාව වෙසෙති.

අපිට ඊළගට මුණ ගැසුණේ වයස අවුරුදු 75 ක් වූ මාරි අප්පන් වල්ලි ය. වම් ඇස අන්ධ වූ ඇයගේ ජීවනෝපාය සිඟමන් යැදීම ය.වයෝවෘද්ධභාවය නිසාම කුලී රැකියාවක් හෝ කිරීමට නොහැකි වූ ඇය සිඟමන් යැදීම තෝරාගෙන තිබුණත් රටේ වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් රුපියල් පහක් හෝ දහයක් ඇය වෙත පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන්නේ එහෙමත් කෙනෙකු පමණි. ඔවුන් මහ සමාජයෙන් බැහැර කුල හීන නිසා පිරිසක් වීම නිසා ඔවුන්ට ද එල්ල වන හිරිහැර අපමණ ය.

“සමහරු  අපිව කොන් කරන නිසා බැනලා එළව ගන්නවා. රුපියල් පහක් දහයක් දුන්නත් ඒ එහෙමත් කෙනෙක් තමයි.” ඇය තමන් යෙදී සිටින වෘත්තියේ දුෂ්කරතාව අපට පැහැදිලි කරමින් පැවැසුවාය. සිඟමන් යැද ජීවත් වන තත්වයට ඇයගේ ජීවිතය ඛේදවාචකයක් බවට පත්ව තිබුණේ අහම්බෙන් නොවේ.දැනට තෙළිඟු නගර්වල ජීවත් වුවත් ඇයගේ උපන්ගම මහනුවර ය. තෙලිඟු නගර්වල උපන් අයෙකු සමග විවාහ වූ ඇය මෙහි පදිංචියට පැමිණ තිබුණේ ඉන් අනතුරුවය. සැමියා මේ වන විට ජීවතුන් අතර නැත. ඇයගේ එක් පුතෙක් විවාහ වී වෙනම පදිංචියට ගොස් ඇති අතර ඇය සමඟ ජීවත්වන අවුරුදු තිහක් වයසැති දියණිය විශේෂ අවශ්‍යතා ඇති  තරුණියකි. ඒ නිසා ඇයට තමන්ගේ කටයුතු පවා තනිවම කර ගත නොහැකි ය. ඇයව පෝෂණය කිරීමේ වගකීම  ද පැවරී ඇත්තේ වයෝවෘද්ධ මාරි අප්පන් වල්ලිට ය. සිඟමන් යැදීම රැකියාව කර ගැනීමට පෙර ඇය ජීවත් වූයේ කැලේට ගොස් දර කඩා ඒවා විකුණා ලබා ගන්නා මුදලිනි. එසේ ගිය අවස්ථාවක දර කෝටුවක් වම් ඇසේ  ඇනීමෙන් එම ඇස අන්ධ වූයේ ඇයට කිසිවක් කර කියාගත නොහැකි වන පරිද්දෙනි. සිඟමනේ යෙදීමෙන් ලබා ගන්නා මුදලට අමතරව ඇයට ඇති එකම ආදායම මාසිකව රජයෙන් ලැබෙන රුපියල් 2,500ක පිං පඩිය ය. එය මෙම දුෂ්කර සමයේ ජීවත් වීමට කොහෙත්ම  ප්‍රමාණවත් නොවන බව ඇය පැවැසුවා ය.

තෙළිගු ජනයා අත් දකිමින් සිටින ගැටළු සහ දුෂ්කරතා සොයා අප තෙළිඟු නගර්  ගම්මානයේ කළ සංචාරයේ දී  ඊළඟට මුණ ගැසුණේ මුත්තන් සුප්පයියා ය. ඔහුගේ වයස අවුරුදු 69කි. “අපිට ඉන්න ගෙයක් නැහැ. කාලයක් තිස්සේ ඉන්නේ මගේ මල්ලිගෙ ගෙදර. මල්ලිටත් ඒ ගේ හදලා දුන්නේ රාජ්‍ය නොවන සංවිධානයකින්. මමයි මගේ බිරිඳයි දුවයි එක්ක ඒ ගෙදර දහ දෙනෙක් ජීවත් වෙනවා. හරියට නිදාගන්නවත් තැනක් නැහැ. මගේ දුවගේ වයස අවුරුදු තිස් එකයි. ඇය දීර්ඝ කාලයක් තිස්සේ හිසරදයකින් පීඩා විඳිනවා. ඒ නිසා එයාට රැකියාවක් කරන්න බැහැ. මම ඉස්සර කුලී වැඩ කළා. ඒත් දැන් කුලී වැඩ ඇත්තෙත් නෑ. දැන් වැඩක් කරන්න මට වාරුත් නෑ. ඒ නිසා මමයි මගේ බිරිඳයි බස් හෝල්ට් වල සිඟමන් ඉල්ලලා ඒ හම්බවෙන කීයෙන් හරි තමයි ජීවත් වෙන්නේ. උදේ පටන් හැන්දෑ වෙනකම් පාරක් පාරක් ගානේ ඇවිදලා හම්බවෙන කීයෙන් හරි හාල් ටිකක් පරිප්පු ටිකක් අරන් ඇවිත් උයාගෙන කාලා ජීවත් වෙනවා. අපි ඉස්සර හිටියේ මඩකලපුවේ. මට පුතෙක් හිටියා. යුද්ධය දරුණුවටම තිබුණා. එතකොට මගේ පුතාට වයස අවුරුදු 18යි. එයා දර කඩන්න කැළේට ගිය වෙලාවේ කවුදෝ වෙඩි තියලා එයාව මරලා දාලා තිබුණා. අපේ පවුලට හිටිය එකම හයිය ඒ දරුවා. එයා අද හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.”

බොහෝ දෙනෙකුගේ ආදරණීයන් උදුරාගත් යුද්ධය සුප්පයියලාගේ පවුලට සිටි එකම ශක්තිය විනාශ කර දමා තිබුණේ කෙතරම් අසාධාරණ ලෙස ද? තම පුතා සිහිපත් වී ඒ මොහොතේ ඔහුගේ නෙතින් ගිලිහුණු කඳුළු කුරිරු යුද්ධය වින්දිතයන්   තවත් කී දහසකගේ නෙත්වලින් අදටත් ගලනවා දැයි මට ඒ සංවේදී විනාඩි කිහිපයේ දී සිහිපත් විය.

“අපිට ගෙදර ඉඳන් හඳුන්කූරු ව්‍යාපාරය කරන්න පුළුවන්. ඒත් ඒවාට ඕන කරන බඩු ගන්න (අමුද්‍රව්‍ය) අපිට වත්කමක් නැහැ.”  සුප්පයියා පැවසුවේ කිසිවෙක්ට අතනොපා ජීවත්වීමට අදටත් තමන් තුළ තිබෙන කැමැත්ත අප හමුවේ පසක් කරමිනි.

සමස්ත ශ්‍රී ලාංකිකයින් ලක්ෂ ගණනකගේ රැකියා මේ වන විටත් අහිමි වී තිබේ. රටක මෙවැනි අධි උද්ධමන තත්ත්වයක් යටතේ භාණ්ඩ ඉල්ලුම පහත වැටේ. එහි අර්ථය නම්, සුළු , මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ගේ භාණ්ඩවල මිල පහත යෑම ය. එවැනි ආර්ථික වටපිටාවක ඉල්ලුම පැවතීමට ඉඩ ඇත්තේ ආහාර සදහා පමණි. මේ බව තහවුරු වුයේ තෙළිගු නගර් වැසියන්ගේ වත්මන් ඛේදවාචකය පිළිබද ඊළගට කරුණු පැහැදිළි කළ කේ. මුන්නේෂ්ගේ කතාවෙනි.

”මිනිස්සු දැන් දෙවියන්ට සුවද විදින්න හදුන්කූරු පත්තු කරන්නේ නෑ. හදුන්කූරු පෙට්ටියක් මිලදී ගන්න කලින් දෙපාරක් හිතනවා. කොරෝනයි මේ ආර්ථික ප්‍රශ්නයි එන්න කලින් හදුන්කූරු ව්‍යාපාරයෙන් අපි හොදින් ජීවත් වුණා. දවසකට හදුන්කූරු බන්ඩල් 20 ක් විතර අපි විකුණුවා. දැන් දවසකට බන්ඩල් 10 ක් වත් විකුණගන්න බෑ, අපි ඉස්සර හොද වර්ගයේ සුවද විලවුන් බෝතලයක් ගත්තේ රුපියල් 800 කට 900 කට විතර මුදලකට. දැන් ඒ බෝතලයක් රුපියල් 3500 ක් 4000 ක් විතර වෙනවා. හිස් හදුන්කූරු පෙට්ටියක් ගත්තේ රුපියල් 3 කට 4 කට.දැන් ඒක රුපියල් 10 ක් වෙනවා. කූරු පැක් එකක් රුපියල් 250 ට ගත්තේ. දැන් ඒක රුපියල් 500 ක් 600 ක් වෙනවා. ඉස්සර කොළඹ ගිහින් එන්න රුපියල් 1500 ක් 2000 ක් තිබුණ ම ඇති. දැන් රුපියල් 5000 කට වැඩිය වියදම් වෙනවා. ඉස්සර හොද ලාභයක් තියාගෙන විකුණුවත් දැන් අඩු ලාභයක් තියාගෙනවත් විකුණගන්න බෑ. මේ  ගමේ පවුල් 135 ක් විතර ජීවත් වුණේ හදුන්කූරු නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත රැකියා කරලා, අද ඒ සියල්ල කඩා වැටිලා. ”

අපිට ඊළගට මුණ ගැසුණු වී. සුබ්‍රමනියම්ගේ වයස අවුරුදු 65 කි. ”මගේ කටේ පිළිකාවක්. ඒක දැනගෙන දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.  මහරගම පිළිකා රෝහලේ නතර වෙලා ඔපරේෂන් එකකුත් කළා. මාසෙකට සැරයක් මහරගම යන්න ඕන. බෙහෙත් මිලත් දැන් ගොඩක් වැඩි නිසා ඉස්පිරිතාලෙත් බෙහෙත් නෑ. ඒ නිසා ගොඩක් බෙහෙත් පිටින් ගන්නයි ලියලා දෙන්නේ. රෝහලෙන් ලියලා දුන්නට පිටින් ඒවා ගන්න වත්කමක් නෑ. ඉස්පිරිතාලෙන් දෙන බෙහෙත් විතරයි  බොන්නේ. මගේ බිරිද නෑ, මට දුවෙකුත් ඉන්නවා. මට රස්සාවක් කරන්න විදිහක් නෑ, මහරගම පිළිකා රෝහලට යන්නත් සල්ලි දෙන්නේ පල්ලියෙන්.”

තෙලිඟු වැසියන්ට කෙනෙහෙලිකම් එල්ල වන්නේ සමාජයෙන් පමණක් ම නොවේ. දෙමාපියන් විසින් ද දරුවන්ට කෙනෙහිලිකම් කළ අවස්ථා ද එම ජන සමාජයට අලුත් දෙයක් නොවෙයි. එය දැක ගැනීමට ලැබුණේ, එම්. ආර්චනා නම් තරුණියගේ කතාව අසා සිටියදී ය.

“මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා. අපි ඉන්නේ ආච්චියි  සීයයි ළඟ. ආච්චි එක්තැන් වෙලා ඉන්නේ. මල්ලි ඉස්කෝලේ යනවා. සීයට අපි දෙන්නව ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ. මමත් ආසයි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න. ඒත් ඒක හීනයක් විතරයි. කොහොමත් මට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ, ආච්චි බලාගන්න තියෙනවා. අපි ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් . අපේ සීයා ට ගෙදර ඉදන් කරන්න මොනවා හරි යන්ත්‍ර උපකරණයක් අරන් දීලා ජීවත්වෙන්න මාර්ගයක් හදල දෙන්න කියලයි, අපි ඉල්ලන්නේ. ”

පාසල් යන වයසේ සිටින එහෙත් පාසල් නොයන ආර්චනා ගේ අහිංසක ආයාචනයට කිසිවෙක් සවන් දෙන්නේ නම් එය අගනේය.

තෙලිඟු නගර් හි වෙසෙන ඒ.රාජේන්ද්‍රන්  ගේ රැකියාව සපත්තු කුඩ අලුත්වැඩියා කිරීම ය. ඊට  අමතරව කතුරු, පිහිය මුවහත් තබන එකය.

“අපේ පරම්පරාවේ ගොඩක් අය කළේ, මේ රස්සාව තමයි. නමුත් මේ දවස් වල තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මේ රැකියාවෙන් හරි ආදායමක් ලැබෙන්නේ නැහැ.මම බයිසිකලේ ගෙයින් ගෙට ගිහින් තමයි මේක කරන්නේ.සපත්තු මහන නූල් ඉඳිකටු හරි ගණන්. ඒක මට දරාගන්න අමාරුයි.ඒ නිසා මේ රැකියාවවත් හරියට කරගන්න බැරි වෙලයි තියෙන්නේ . මගේ බිරිඳත් මානසික රෝගියෙක්. උන්දැට දැන් ඇවිදගන්නත් අමාරුයි. මගේ පුතාටත් දරුවෙක් ඉන්නවා. එයා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ ළමයාගේ අම්මා ඒ දරුවව දාලා ගිහින්. ඒ ළමයා තමයි මගේ බිරිඳව බලාගන්නේ. ඒ දරුවා ඉස්කෝලේ යන දවසට මම ගෙදර ඉඳගෙන බිරිඳ බලාගන්නවා.මේක ඉතින් හැමදාමත් කරන්න බැහැ.” රාජේන්ද්‍රන් වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා හොරුන් මාකොල්ලකරුවන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. එපමණක් ද නොව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුර තරුණ ප්‍රජාව පමණක් නොව පාසල් දරුවන් පවා මහත් ඛේදවාචකයකට ඇද දමමින් සිටිති. එවන් තත්ත්වයක් මත  තෙලිඟු නගර වැසියන් ද එවැනි නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ  වී ඇත්දැයි පැමිණිලි හෝ තොරතුරු ලැබී තිබේදැයි දැන ගැනීමට අපි තඹලගමුව පොලිස් ස්ථානාධිපති ඒ. එස්.ඩබ්ලිව්. රංජන බණ්ඩාර මහතා සම්බන්ධ කර ගත්තෙමු.

“මෙහෙ ඉන්න පවුල් කිහිපයක් අතර නිතරම ආරවුල් ඇති වෙනවා. ඔවුන් නිතරම රණ්ඩු වෙලා පොලීසියට එනවා. ඇත්තටම මම දකින්නෙ විධිමත් අධ්‍යාපනයක් නැති කමත් අඩු වයසින් විවාහ වීමත් තමයි මේ ප්‍රශ්නවලට මුල් වෙලා තියෙන්නේ. අඩු වයසින් විවාහ වෙලා ළමයෙක් දෙන්නෙක් හදලා, එක්කෝ අම්මා දරුවෝ දාලා යනවා.නැත්නම් තාත්තා දරුවෝ දාලා යනවා. අම්මලාට ඒ කියන්නේ ළමයින්ගෙ ආච්චි අම්මලට  තමයි දරුවෝ බලාගන්න වෙලා තියෙන්නේ. මේ ගමේ බොහෝ දෙනෙක් නීති විරෝධී මත්පැන් වලට පුරුදු වෙලා ඉන්නවා. සමහරු ඒවා ව්‍යාපාරයක් හැටියට කරනවා. ඒ ඇරුනහම බරපතල අපරාධවලට ඒ අය යොමුවෙලා නැහැ. රටේ අනිත් ප්‍රදේශ වල වැසියන් එක්ක බැලුවහම මේ ජනතාව සාමකාමී ජනතාවක්.”  පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගම් වැසියන් සමඟ දුක සැප බෙදා ගනිමින් ජීවත් වන තෙලිඟු නගර දේවස්ථානයේ ෆාස්ටර් වේලු සුබ්‍රමනියම්  එම ගම්වැසියන්ගේ සමස්ත ජීවන රටාව අප වෙත පැහැදිලි කළේ මෙසේ ය.

”මේ ගම්මානයේ පවුල් 150ක පමණ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය හදුන්කූරු නිෂ්පාදනය. මෙහි දරුවන් අධ්‍යාපනයට ඉස්සරට වඩා දැන් යොමු වෙලා ඉන්නවා. ගමේ ළමයි හතර දෙනෙක් මේ වන විට විශ්වවිද්‍යාල  අධ්‍යාපනය ලබනවා. දෙමව්පියන් දරුවන් පාසල් යවන්න උනන්දුයි. නමුත් ආර්ථික වශයෙන් දුෂ්කරතා නිසා ඒක කරගන්න අමාරුයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ළමයින්ව ත්‍රිකුණාමලයට පාසල් යවන්න වෙනවා. නමුත් ඒ තරම් දුරට යවන්න දෙමව්පියන්ට ආර්ථික ශක්තියක් නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළින් පස්සේ දරුවන් අමතර පන්ති වලට යවන්නත් වෙනවා. ඒ නිසා හුඟක් අය සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ පාසල් යෑම අත්හරිනවා.

රජයෙන් සහනාධාර ලැබෙන පවුල් මේකෙ ඉන්නවා. නමුත් ඒක ඔවුන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ. රැකියා නැති නිසා හුඟක් අය සිඟමන් යැදලා තමයි ජීවත් වෙන්නේ. පල්ලියෙන් අපි පුළුවන් තරම් උදව් කරනවා. ඉස්සර මේ අය සාස්තර කිව්ව. නමුත් කතෝලික ආගම හුඟක් අය වැළඳ ගෙන තියෙන නිසා දැන් ඒක කරන්නේ නැහැ. විවාහ මංගල උත්සව පල්ලියෙන් කරනවා. සමහරු ණය  වෙලා ලොකුවට මගුල් ගන්නවා. සිංහල මුස්ලිම් අය එක්කත් මේ අයගේ විවාහ  සිද්ධ වෙනවා.ඒවාට අපි බාධා කරන්නෙ නෑ. හැබැයි පල්ලියෙන් විවාහ මංගල කරනවා නම් කිතුනු ආගම වැළඳ ගත් පසුවයි එය කරන්නේ. ” දීර්ඝ ලෙස තෙලිඟු ජනතාවගේ ජීවිත විස්තර කරමින් ෆාස්ටර් කියා සිටියේය.

අපි මෙහිදී තෙළිගු නගර් වැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා රජයෙන් වන මැදිහත්වීම සම්බන්ධයෙන් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජය ගවුරී ශ්‍රීපති මහත්මිය සමග කතා කළෙමු.

” ඇත්තතටම තෙළිගු වැසියන්ටත් අනෙක් ජනතාවට වගේම රජයෙන් සෑම සහනාධාරයක් ම දෙනවා. මෙහි පවුල් 106 කට සමෘද්ධි සහනාධාරය ලබා දෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනාව, ආබාධිත අය සදහා ලබා දෙන දීමනා සියල්ලක්ම ඔවුන්ටත් ලබා දෙනවා. ඒත් ඔවුන් නිතරම කියන්නේ ජීවත් වෙන්න ඒ දෙන සහනාධාර ප්‍රමාණවත් නෑ කියලයි. ඊට අමතරව ජාත්‍යන්තර ආධාර යටතේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා.ඒ සියලුම දේත් ඔවුන්ට ලබා දෙනවා.” යැයි ප්‍රාදේශීය ලේකම්වරිය අප සමග පැවැසුවාය.

රටේ ප්‍රධාන දේශපාලන ධාරාව සමග සෘජු සබඳතා නොමැති හඩක් අහිමි මෙවැනි සුලු ජන ප්‍රජාවන් පිලිබද යොමු වනුයේ අවම අවධානයකි.අපගේ තෙලිඟු නගර් සංචාරයේ මුක්‍ය පරමාර්ථය වුයේ හඩක් අහිමි තෙලිඟු වැසියන්ගේ හඩ ඔබ සම්මුඛයෙහි තැබිමය.

 

                                                                               

උපදේශනය හා මුල්‍ය ආධාර ඉන්ටර්නිවුස් මඟිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *