වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට – මහනුවර වාර්තාකරු

නෙල්ලි ගල විහාරස්ථානයට වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ බස් රථයක් විහාරස්ථානයට මීටර් 200 ක් පමණ තිබිය දී අඩි 60 ක පමණ බෑවුුමකට පෙරලීමෙන් එහි ගමන් ගත් 32 දෙදෙනෙකු තුවල ලැබ මහනුවර හා පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර තිබේ.
අනතුර පෙරේදා (25) පස්වරු 1.30 ට පමණ සිදුව තිබෙන බව පේරාදෙණිය පොලීසිය පවසයි.
තුවාලකරුවන් අතරින් 26 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් හය දෙනෙකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති.
මොරටුව ඉදිබැද්ද ගම්මානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබ සාධන සමිතියේ සමාජික පිරිසක් මෙම බස් රථයේ පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා රිය සහායක ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු බස් රථයේ සිට ඇත.
නෙල්ලිගල විහාරස්ථානයට මීටර 300 ක් පමණ මෙපිටින් අරම්භ වන කන්ද මගීන් සමඟ තරණය කිරීමට නොහැකි වීම රියදුරු මගීන් සියලු දෙනා බැස්සවා කන්දේ කොටසක් තරණය කර තිබේ. අසීරු කොටස ධාවනය කිරීමෙන් පසු මගීන් සියලු දෙනා යළිත් බස් රථයට නන්වා ගැනීමට රියදුරු පියවර ගෙන ඇත. එම අවස්ථාවේ විහාරස්ථානය දෙසින් තවත් බස් රථයක් පැමිණ තිබේ. එම බස් රථය මාර්ගය මැද නැවත්වීම නිසා ඉදිරියට යාමට නොහැකිව වන්දනා නඩය ගමන් ගත් බස් රථයේ රියදුරු තිරිංග තදකර ගියර් මාරු කිරීමට ගිය අවස්ථාවේ බස් රථය පසුපසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමට පෙරලී තිබෙන බව පොලීසිය පවසයි.
නෙල්ලිගල විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා සෙබළුන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ලබා ගනිමින් තුවාල කරුවන් බස් රථයෙන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් පේරාදණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed