කොළඹ පැවති දැවැන්ත විරෝධතාවයට පොලිසියෙන් අමානුෂික ප්‍රහාරයක් – මෙලනි මානෙල් පෙරේරා

ජාතික ජන බලවේගය විසින් ඊයේ සවස කොළඹදී පැවැත්වූ දැවැන්ත විරෝධතාවයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙය, හිටපු ජනාධිපති ගෝඨාභය පලවා හැරීම සඳහා පැවති ජනඅරගලයට පසුව , පවතින ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය හා විරෝධතාවය පෙන්වීම සඳහා පැවති දැවැන්ත ම ජනතා රැල්ලයි.
 
ජනතා අභිවෘද්ධිය සඳහා හොඳින් හෝ නරකින් පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනින් ජයග්‍රහණය කරන බව ඊයේ හවස දැවැන්ත පොලිස් බාධක හමුවේ කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවති විරෝධතා රැලියේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කිරීමේ ඔවුන්ගේ සටන කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරවලින් ආපසු හැරවිය නොහැකි යැයි ඔහු කීවේය.

 
විරෝධතාකරුවන් කොටුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාම වැලැක්වීමට සිය ගනනක් පොලිසිය සහ හමුදාව යොදවා තිබුණි.
 
එමෙන් ම, NPP  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් 26 දෙනෙකුට එරෙහිව ඉරිදා : පස්වරු 01 සිට රාත්‍රී 08 දක්වා කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය අවට ප්‍රදේශවලට පා ගමනින් පැමිණීම තහනම්කර අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.
 
අධිකරණ නියෝගයක් නොතකමින් විරෝධතාකරුවන් කොළඹ පුරහල ප්‍රදේශයේ සිට ඉබ්බන්වල හන්දිය හරහා පා ගමනින් කොළඹ කොටුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අතර පාගමන වැළැක්වීමට පොලිසිය මැදිහත් වුණා.
 
එහෙත් පා ගමනට නායකත්වය දුන් ජාතික ජනතා පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක ද නිරත විය. පසුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.  
 
නායක අනුර දිසානායක ද මෙම සිද්ධියේදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වී සිටිනු දක්නට ලැබිණි.
 
පොලිස් ජල හා කඳුලු ගෑස් ප්‍රහාරවලට ලක්වීමෙන් හා ඒ නිසා ඇතිවු කලබලකාරි තත්ත්වය නිසාත් පොලිස් ප්‍රහාරවලට ලක්වීමෙන් තුවාල ලත් 30 දෙනෙකුට අධික විරෝධතාකරුවන් ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි. බරපතල තත්ත්වයන් රහිත පුද්ගලයින් ප්‍රතිකාර ලබා සිය නිවෙස්වලට ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
 
විරෝධතාකරුවන් වෙත මර්ධනය වැඩිවනවාත් සමගම රනිලා පිස්සෙක් පිස්සෙක් යන විරෝධතා පාඨයක් ද ඇසෙන්නට විය.
 
ගෝඨාභය එළවා දැමීමට දැවැන්තව ක්‍රියාත්මක වු ජන අරගලයෙන් රනිල් වික්‍රමසිංහ තවමත් පාඩමක් ඉගෙනගෙන නොමැති බව සඳහන් කළේය

“ඔහු කාටද මේවැනි ඉතාම තුච්ච මර්ධනයක් එල්ල කරන්නේ ? මෙහි ප්‍රතිඵලය ඔහුට ඉතාම මෑතකදී අත්විඳින්නට සිදුවෙනවාමයි.”  ඔවුන් කීහ.

 
“මෙච්චර පොලිස් හා හමුදා බලඇණියක් අපේ විරෝධතාවය වෙනුවෙන් යොදවන්න, කඳුළු ගෑස් ජලප්‍රහාර ගසන්නට ඔහුට මුදල් තිබෙනවා, නමුත් අපේ රටේ අහිංසක ජනතාවට බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැහැ. කෑම බීම නැහැ”, යනුවෙන් ඇතැම් විරෝධතාකරුවන් පැවසූහ.
 
පොලිස් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ භීතිය හේතුවෙන් විරෝධතාකරුවන් 30 කට වැඩි පිරිසක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ පුද්ගලයින් මේ වනවිට ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *