කොළඹට සහ යාපනයට භූ කම්පන අවදානමක් – මහනුවර වාර්තාකරු

ඉන්දියාවේ භූ විද්‍යාඥයන් අනාවැකි පවසා ඇති ආකාරයට එරට හිම්චාල්-උත්තරකාන්ත් ප්‍රදේශ වලට රිච්ටර් මාපක 08 ක තරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ සහ යාපනය ඇතුළු නගර කිහිපයකට තදින් දැනීමේ හැකියාවක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

මෙයට වසර 02 කට පෙර ඉන්දියාවේ හිමාල කඳු වැටිය ආසන්නයේ දැනට භූකම්පනය සිදුවන බවට භූ විද්‍යාඥයන් පවසා ඇති ප්‍රදේශයේ සිදු වූ රිච්ටර් මාපකයේ 05 ක භූ කම්පනය කොළඹ නගරයට දැනුන බවත් ඉන් බොහෝ දෙනා බිය වී ගොඩනැගිලි වලින් පිටතට පවා පැමිණි බවත් ඒ මහතා කීය.

ඒ අනුව රිච්ටර් මාපක 08 ක තරමේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුව හොත් එය අනිවාර්යෙන්ම මෙරටට දැනෙනු ඇති බව ද මහාචාර්යවරයා පැවැසීය .

කෙසේ නමුත් මහාචාර්යවරයා පවසන්නේ භූ චලන සම්බන්ධයෙන් සිදුකරන පුරෝකතන ලොව මෙතෙක් 100 % සාර්ථක වී නොමැති බවයි.

යුරේෂියානු තලයත් ඉන්දු ඔස්ට්‍රේලියානු තලයත් ගැටෙන ප්‍රදේශය සමාන්‍යයෙන් භූ කම්පන සිදුවන කලාපයක් ලෙස භූ විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙන බවත් පසුගියදා තුර්කියට හා සිරියාවට විශාල හානියක් සිදුකළ භූ කම්පනය සිදුවූ රේඛාවේම කෙලවරක උතුරු ඉන්දියාවේ කොටසක් පිහිටා තිබෙන බවත් මහාචාර්යවරයා පැවසුවේය.

පෘතුවිය අභ්‍යන්තරයේ ඉතා ගැඹුරේ සිදුවන ශක්ති මුදාහැරීම් පිටතට ගමන් කරන්නේ තල මායිම් ඔස්සේ බවත් අදාළ ශක්ති මුදා හැරීම සිදුවන්නේ කුමන තල මායිමටද කිට්ටුවෙන්ද යන්න මත භූ කම්පනය සිදුවන ස්ථානය තීරණය වන බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *