ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කරයි – මෙලනි මානෙල් පෙරේරා

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කරයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොදු සම්පත් භාවිතය සහ මැතිවරණ ප්‍රචාරක වියදම් TISL වෙත වාර්තා කරන ලෙස මහජනතාවට ආරාධනා කරයි. සිදුවීම් වාර්තා කිරීම සඳහා ක්ෂණික ඇමතුම් සහ වෙබ් අඩවිය Apesalli.lk දියත් කරයි.
එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කිරීම  සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා  මුදල් යෙදවීම නිරීක්ෂණය කිරීම සඳහා රට පුරා මැතිවරණ නිරීක්ෂකයින් යෙදවීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සිය මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන ඊයේ, පෙබරවාරි 13 වැනි දින ආරම්භ කළේය.

2005 වසරේ සිට සිදු කර ඇති පරිදි, TISL  විසින් දිස්ත්‍රික් මැතිවරණ නිරීක්ෂකයින් 25 දෙනෙකු යොදවා ඇති අතර ඔවුන් මැතිවරණ කොට්ඨාශ මට්ටමින් වැඩ කරන අතිරේක නිරීක්ෂකයින් 160 දෙනෙකු සමඟ මෙම මැතිවරණ නිරීක්‍ෂන කටයුතු සිදුකරනු ඇත.

 “රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම, දූෂණයේ ප්‍රභේදයක් වන  රාජ්‍ය සම්පත් අවභාවිතයක් වන අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානයෙන් කටයුතු කරනවා. එමෙන්ම,  එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සපයාගත් ආකාර සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත්, සියලු මූලාශ්‍ර වාර්තා කිරීම සම්බන්ධයෙන් සිය නීතිමය වගකීම් ඉටු කරන ලෙසත්, සියලු දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් සහ ස්වාධීන කණ්ඩායම්වලින්, අප මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා”. යැයි TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදිශානි පෙරේරා මහත්මිය ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.
මැතිවරණ වියදම් නියාමනය කිරීම සහ රාජ්‍ය දේපළ භාවිතා කිරීම පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කළ විධායක අධ්‍යක්ෂිකා නදිශානි පෙරේරා මහත්මිය , මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ මූලික පරමාර්ථ වන්නේ, ධනවත් පරිත්‍යාගශීලීන් විසින් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් මත සිදුකළ හැකි අනවශ්‍ය බලපෑම් වැළැක්වීම සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අධික හා ඡන්දය මිලදී ගැනීම සහ රාජ්‍ය දේපල අවභාවිත කිරීම් වැනි නීති විරෝධී වියදම් වැළැක්වීමයි යනුවෙන් පැවසීය.
“මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මෙම වසරේදී බලාත්මක වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ. ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමට, නිදහස් හා සාධාරණ මැතිවරණ වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින සංවිධානයක් ලෙස, TISL ආයතනය මෙම නව නීතියේ සඵලතාවය ඉදිරි මැතිවරණ සමයේදී නිරීක්ෂණය කරන්නට පියවර ගන්නවා යැයි සඳහන් කළේය.
TISL ආයතනය මැතිවරණ ක්ෂණික ඇමතුම් අංක 076 322 344 2 සහ 076 322 366 2 නිවේදනය කළ  අතර යම් පාර්ශවයක් විසින් රජය සතු ගොඩනැගිලි, වාහන, රාජ්‍ය නිලධාරීන් හෝ රජයේ ව්‍යාපෘති යනාදිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන්නේ නම්, එවැනි සිදුවීම් රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා වන අවස්ථාවක් ලෙස සලකා ඉහත අංක වලට දුරකථන ඇමතුම් හෝ WhatsApp හරහා සිය ආයතනයට වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. TISL ආයතනයේ වෙබ් අඩවියක් වන www.apesalli.lk හරහාද  මහජන පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ හැකි බව TISL ආයතනය දන්වා සිටියි.
මීට අමතරව Play Store සහ App store හි බාගත කිරීම සඳහා ඇති Apesalli ඇප් එක/ජංගම යෙදුම හරහා ද මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එවැනි පැමිණිල්ලක් ලැබුණු විට, TISL ආයතනය විසින් සියලුම සාක්ෂි සම්පාදනය කර, තොරතුරු සත්‍යාපනය කර, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබේ.
ඉදිරි මැතිවරණ කාලසීමාව තුල රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කිරීම් සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කළහැකි ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කර, මැතිවරණයේ සුපිළිපන් බව ආරක්ෂා කිරීම සඳහා දායක වන ලෙස TISL ආයතනය තවදුරටත් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *