ක්‍රීඩා පනතට  නව සංශෝධන – නිමල් කොළඹිස්ස – මහනුවර

ක්‍රීඩාව හා ක්‍රීඩකයන් ආරක්ෂා වන පරිදි  අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ක්‍රීඩා පනතට  නව සංශෝධන කිහිපයක් එක් කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

 

අධික මුදල් ඉපැයීම හා ක්‍රීඩාවේ ඒකාධිකාරී තත්ත්වය බිඳ දැමීම සඳහා එක්කළ මෙම සංශෝධන කිසිසේත්ම ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා කීවේය.

 

ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාර‍යේදී අද (08) පැවැති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවෙමිනි.

ක්‍රීඩා අමාත්‍යංශයේ නව වැඩසටහනක් අනුව දීප ව්‍යාප්තව ක්‍රීඩා සභා පත් ස්ථාපිත කොට ඇති අතර එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්‍රීඩා නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් දැනුවත් කිරී‍ම මෙහිදී සිදුවිය.

 

ක්‍රීඩා‍‍වේ අභිවෘද්ධිය වෙනුවෙන් මෑතකදී නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රය ඉවත් කරන ලෙස දන්වමින් ඇතැම් ක්‍රීඩා සමාජ ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා ඇති නමුත් කිසිදු අයුරකින් මෙම සංශෝධන ඉවත් නොකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් විශේෂ කමිටුවක නිර්දේශ මත 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ගැසට් පත්‍රයක් මගින් සංශෝධනය කළ බව කී ඒ මහතා මෙමගින් ක්‍රිකට් ඇතුලු සියලුම ක්‍රීඩාවල දියුණුවක් අපේක්ෂා කරන බව ද කීවේය.

 

නව නීති අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධූරය අවුරුදු දෙකකට සිමා වන අතර  එය අවස්ථා දෙකක් පමණක් හිමිවීම,  අවුරුදු 70ට අඩු පුද්ගලයන් සඳහා පමණක් ක්‍රීඩා සංගම්වල නිලතල හිමිවීම, ක්‍රීඩා සංගම් නිලවරණය සඳහා 200ක් පමණ වන ඡන්ද ප්‍රමාණය 40ක් දක්වා සීමා කිරීම, සියලු නිලධාරීන් අවම වශයෙන් අවුරුදු 03ක් සිය වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම, ප්‍රධාන ක්‍රීඩා සංගම් සඳහා වරලත් ගණාකාධිකාරී ආයතනික සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුලු සංශෝධන රැසක් ඉදිරිපත් කොට ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

ක්‍රීඩා අමාත්‍යධූරයට තමන් පත්වූ වකවානුවේ ජාත්‍යන්තර තරඟයක් සඳහා ඉදිරිපත්වීමට ගිය ක්‍රීඩකයන් පිරිසකට වීසා නොලැබීමක් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් තොරතුරු වාර්තා කොට තිබුණු බව අමාත්‍යවරයා කීවේය. ඒ සම්බන්ධයෙන්  විමසීමේදී ක්‍රීඩා සංගම‍යේ මැදිහත්වීමෙන් විසා ලබා ගත යුතුවුවත් එම සංගමයේ වයස අවුරුදු 80ක් වන සභාපතිවරයා එම කටයුත්ත සිදු කර නැති බව තමන්ට නිලධාරීන් දැනුම් දුන් බව අමාත්‍යවරයා කීවේය. එවැනි වසයක පසුවන නිලධාරීන් හේතුවෙන් ක්‍රීඩකයන් අසීරුතාව පත්වීම නව සංශෝධන මගින් වැළැක්වෙන බව ඒ මහතා සඳහන් කළේය.

 

තමන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොමැති නමුත් ක්‍රීඩා සංගමයේ තනතුරු දරන නිලධාරින් අධික ආදායම් ලබන බවත් කෙටි කාලයක් තුළදී ඔවුන් ලබන අසිමිත ආදායම සම්බන්ධයෙන් ඉදිරියේදි විමර්ශන සිදුකරන බව ද ඒ මහතා කීහ. ඩොලර් මිලියන 04ක් වැනි ඉහළ වාර්ෂික ආදායමක් ලබන පාපන්දු සම්මේලන එම මුදලින් දිස්ත්‍රික්කයක් සඳහා ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 02ක් වැනි මුදලක් බවත් ප්‍රධාන සංගම් අධික ආදායම් උපයමින් ධනය රැස් කරන බව අමාත්‍යවරයා කීහ.

 

ජාතික ක්‍රීඩා සභාවට අමතරව පළාත් ක්‍රීඩා සභාව ද ක්‍රීඩා පනතට අදාල වන බවත් පළාත් අණ්ඩුකාරවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පළාත් ක්‍රීඩා සභා අධීක්ෂණයට බලය හිමි වන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා කීවේය.

 

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගැනිමට සිදුවන බව කී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ජාතික ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා ජැමෙනිකාවෙන් පුහුණුකරුවන් දෙදෙනෙකු ලබා දෙන ලෙස එරට තානාපති කාර්යාලයෙන් තමන් ඉල්ලීමක් කළ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් සී. මහේෂන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාත්‍යංශ උපදේශක සුසන්තා ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ‍මේ අවස්ථාවට එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed