සෑම ප්‍රශ්නයකටම විසඳුම දේශපාලනය නොවේ – සිරි සමන්ත භද්‍ර හිමි – මහනුවර වාර්තාකරු

ජනතාව පාන් කියා ගැනීමට නොහැකිව සිටින මේ අවස්ථාවේ මැතිවරණ තියන නොතියන එකට වඩා වැදගත් වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම පිණිස අපට දායක විය හැක්කේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම බව සිරි සමන්ත භද්‍ර හිමියෝ පවසති.
පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එකට එකතු විය යුතුව තිබෙන බවත් එසේ නොවුණහොත් රට බිඳ වැටෙන බවත් උන්වහන්සේ කීහ.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක උමංදාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෘෂිකාර්මික වැඩපිළිවෙළ සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළ සමන්ත භද්‍ර හිමියෝ එහි නවතම නිෂ්පාදනයක් වන කාබනික උකු පොල්කිරි ටින් කිහිපයක් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීම ද සිදු කළහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කුඩා සිදුරකින් ජලය ටිකෙන් ටික ඇතුළු වී මහා නැවක් මුහුදේ ගිලෙන හා සමාන තත්ත්වයක රට තිබෙන බවත් මෙය අප නිවැරදිව තේරුම් ගෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සෑම ප්‍රශ්නයකටම විසඳුම දේශපාලනය නොවන බවත් රටට මේ විනාශය අත්වූයේ ජනතාව පක්ෂ වලට බෙදීම නිසා බවත් කී සමන්ත භද්‍ර හිමියෝ ජාතිය හෝ ආගම පදනම් කර ගනිමින් මිනිස්සු නොබෙදිය යුතු යැයි ද අවධාරණය කළහ.
මහා සංඝරත්නයට අපහාස කරමින් බුද්ධාගමට විරුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් තරුණ හාමුදුරුවරු ඒකරාශි කරගෙන පන්සල මුල්කරගෙන ගමට වැඩක් වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.
උමංදාව මගින් රටට ආදර්ශයක් ලබා දී තිබෙන බවත් එහි ක්‍රියාත්මක වැඩපිළිවෙළ දැක බලා ගැනීමට සෙසු ආගමිකයින් පවා පැමිණෙන බවත් කී උන්වහන්සේ උමංදාවේ කුඹුරු වලින් ලබාගත් බිත්තර වී ගොවීන් 1000 කට බෙදා දීමට පියවර ගෙන ඇතැයි ද ප්‍රකාශ කළහ.
ආර්ථිකය ගොඩනගන ලෙස හැම වෙලාවකම ආණ්ඩුවට කියමින් නොසිට ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ අප විසින් කිරීම වැදගත් යැයි ද සමන්ත භද්‍ර හිමියෝ පැවසූහ.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිසිදු අයෙකු ගේ අවශ්‍යතා නැති කරනවාටත් කිසිදු අයෙකුට අනවශ්‍යය අවශ්‍යතා දෙනවාටත් තමන් වහන්සේ අකමැති යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දෙපාර්ශවය සාකච්ඡා කර වඩාත්ම යහපත් දේ කළ යුතුව ඇතැයි ද සමන්ත භද්‍ර හිමියෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed