මහනුවර ආරක්ෂක නිළධාරියාගේ ඝාතකයා අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ක්‍රීඩා සංකීරණයේ ආරක්ෂක නිලධාරිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ළඟම මිතුරෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් 26 පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම ඝාතනය පසුගිය 17 දින අලුයම් කාලයේ සිදුව තිබේ. බණ්ඩාරගම තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි උදුල් සම්පත් (27) නැමැති අයගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිව තිබුණේ මුඛයට පාන්කඩ එබීම නිසා ස්වසන මාර්ගය අවහිර වීමෙන් මරණය සිදුව තිබෙන බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකළ අතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ ප්‍රදේශයේ දීය.
ඝාතනයෙන් පසු සැකකරු ජංගම දුරකතන සිම්කාඩ් හයක් පාවිච්චි කරමින් සැඟව සිටීමට උත්සහ කර තිබෙන බව පොලීසිය පවසයි.
සැකකරු ද ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ එකම ආරක්ෂක සේවා ආයතනයක සේවය කරමින් සිට ඇත.
සිද්ධිය වූ දින සැකකරු ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ක්‍රීඩාංගණයට පැමිණ උදුල් සම්පත් සමඟ මත්පැන් පානය කරන අවස්ථාවේ ඔහු පවිත්‍රතා සේවිකාවට දුරකතන ඇමැතුමක් ලබා දී ඇත. එම අවස්ථාවේ එය සැකකරුට ඇසීමෙන් පසු දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.
එම අවස්ථාවේ සැකකරු ඔහුගේ මිතුරාව ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් 30000 ක මුදලක් ද රැගෙන පළාගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
සැකකරු 2020 වසරේ දී මරදාන ප්‍රදේශයේ දී සිදුවූ ඝාතනයක සැකකරුවෙකු බවත් ළමා නිවාසයක කුඩා කළ සිට හැදී වැඩී ඇති ඔහු නම් දෙකකින් පෙනී සිට ඇති බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් වසන්ත කුමාර තිලකරත්න නොහොත් තිවංක නානයක්කාර නැමැති සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 06 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed