අපිට කෙනෙහෙලිකම් – තිස්ස විතාරණ පවසයි – මහනුවර වාර්තාකරු

නිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සමාජික පක්ෂයක නායකයෙකු වන තමන්ට ආරාධනාවක් නොකළ බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (28) මහචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.
උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ 07 ක් තිබෙන බවත් ලංකා සමසමාජ පක්ෂය එහි සමාජික පක්ෂයක් බවත් කී තිස්ස විතාරණ මහතා සියලු පක්ෂ එකතු වී මැතිවරණයට මුහුණදීම සඳහා ගොඩනැගූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන් ට ආරාධනා නොකළේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.

නිදහස් ජනතා සන්ධානය යටතේ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා ලබා දීමේදී ලංකා සමසමාජ පක්ෂය මගින් ද අපේක්ෂක ලැයිස්තු සඳහා නම් ඉදිරිපත් කළත් අවසන් ලැයිස්තු පිරික්සීමේ දී එම නම් බොහොමයක් හැලී ගොස් තිබුණු බවද හෙතෙම පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් සඳහා ලංකා සමසමාජ පක්ෂය මගින් අපේක්ෂක නම් ඉදිරිපත් කළත් ඒ කිසිවෙකුට නිදහස් ජනතා සන්ධානය තුළ ඉඩක් නොලැබුණු බවත් මේ නිසා පළාත් පාලන ආයතන කිහිපයකට සමසමාජ පක්ෂය යටතේ නාම යෝජනා ලබා දීමට සිදුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වාමාංශික බලය වැඩිපුර පවතින මාතර දිස්ත්‍රික්කය සඳහා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේ එක් අපේක්ෂක ධූරයක් පමණක් වුවත් එය ද ලබා නොදුන්නේ යැයි තිස්ස විතාරණ මහතා කීවේය.
ලංකා සමසමාජ පක්ෂයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ කිසිවක් හමුවේ තමන් නොසැලෙන බවත් මහාචාර්වරයා පැවසුවේය.
තම පක්ෂයට සිදුවන කෙනෙහෙලිකම් සම්බන්ධව තරහක් නොමැති බවත් මෙම සන්ධානය කඩා ඉහිරවීම පිණිස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ ද යන්න සොයා බැලිය යුතුව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed