වසර 200ක් සපුරන ශ්‍රී ලංකාවේ වතුකර ජනතාවගේ මූලික අයිතිවාසිකම්වත් සැපිරී නැහැ – මෙලනි මානෙල් පෙරේරා


200 වසරක් සපුරන මෙම වසර තුළදීවත් වතුකර ජනතාව මුහුණ දෙමින් සිටින විසඳීමට බොහෝ හැකියාවක් ඇති මූලික ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා සිටිමින් , ප්‍රශ්න පිළිබඳව ලිඛිත යෝජනාවලියක් ජනවාරි මස 25වන දා “වතුකරයේ ජනතා හඩ” සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජනාධීපතිවරයාටත් අගමැතිවරයාටත් භාරදුන් බව එදින පස්වරුවේදි පැවති මාධ්‍ය හමුවේදි එම සංවිධානයේ සභාපති ඇන්තනි ජේසුදාසන් ප්‍රකාශ කළේය.
වසර 200ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනයට කම්කරුවන් ලෙසට අතී විශාල ශ්‍රම දායකත්වයක් ලබාදෙමින් සිටින මෙම දමිළ ජනතාව, 1823 දී වැවිලි කර්මාන්තයෙහි සේවය සඳහා නිරත කරවීමට විදේශිකයන් විසින් දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ඉතිහාස සටහන්වලින් පෙන්වා දෙන බව ඇන්තනි ජේසුදාසන් පැවසීය.
මොවුන්ගේ අනන්‍යතාවයේ සිටම ප්‍රශ්න ඇති බව සඳහන් කරන සභාපති ජේසුදාසන්, ඔවුන් මලයගම් ජනතාව කියා ආමන්ත්‍රණය කරනවාද, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව කියනවාද නැතහොත් වතුකරයේ ජනතාව කියා මොවුන්ව ආමන්ත්‍රණය කරනවාද යන්න පිළිබඳව ද අර්බුදකාරි තත්ත්වයක් පවතින බව පෙන්වා දුණි.

පොදුවේ ගත්කළ ලංකාවේ පුරවැසියන්ට පරිපාලන සේවාවන් භුක්තිවිඳිමේ හැකියාවක් ඇති නමුත් තවමත් වතුකර ජනතාවට වතු අධිකාරි පාලනය තුළ සිරවී ජීවත්වීමට සිදුවී ඇති බව පෙන්වා දුණි.
“ඒ හරහා තමන්ගේ දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුවෙලා තිබෙනවා. පුරුවැසියන් භුක්තිවිඳින ඒ පරිපාලනම ය අයිතිය වතුකර ජනතාවට අහිමිවෙලා තිබෙනවා. තවමත් ඔවුන් ජීවත්වෙන්නේ වතු අධිකාරිය යටතේ පවතින ලයින් කාමරවල. තමන්ට ම කියා නිවසක් නැහැ. තමන්ට ම කියා ඉඩමක් නැහැ. නමුත් වසර 200ක් තුළ ලංකාවේ ආර්ථීකයට , දළ ජාතික ආදායමට මහා පරිමානයෙන් ශ්‍රමය ලබාදෙනවා.” ජේසුදාසන් කීවේය.
“මේ මලයාගම් ජනතාවට ඉඩමක සහ නිවෙසක අයිතිය ඉතාම කඩිනමින් හිමි විය යුතු මූලික අයිතියක්.” ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන වතුකර ජනතාව අතරින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජීවත්වන වතුකර ජනතාව කිසිඳු දේශපාලන නායකත්වයකින් තොරව ජීවත්වන පිරිසක් බැවින් ඔවුන් කෙරෙහි අවධානය යොමු නොවන බවත් , මේ වන තෙක් කිසිඳු පාර්ලිමේන්තු නියෝජනයක් හෝ පලාත් සභා මන්ත්‍රී ධූරයක්වත් ලබාගැනීමට හැකියාවක් ලැබී නැති බවත් ජේසුදාසන් පෙන්වා දුණි.
එබැවින් මෙම යෝජනාවලිය තුළින් විශේෂයෙන් ම දකුණු පලාතේ ජීවත්වන වතුකර ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුද සහ අවශ්‍යතා සම්බන්ධයෙන් ජනාධිපතිගේ අවධානයට ලක්කර ඇත.
2003 වර්ෂයේ සිදුවු නාය යැමෙන් පසුව පර්චර්ස් 07ක ඉඩම් කැබැල්ලක් ලබාදුන්නත්, දැනට වසර 18ක් ගෙවී ගිය ද එම ඉඩමේ අයිතිය වෙනුවෙන් පුංචි කොල කැබැල්ලක් හෝ තම ජනතාවට ලබාදී නොමැති බවත් ඒ හා අදාළ රජයේ කාර්යාල වල ද නැති බවත් වතුකරයේ ජනතා හඩ සංවිධානයේ ලේකම් ඇන්තනි වෙත්තයියා මාධ්‍ය වෙත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කය තුළ දමිළ පාසැල් 05ක් තිබෙනවා. ඒ පාසැල් තිබෙන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශවල නිසා ආර්ථීක ප්‍රශ්න නිසා දමිල දරුවන් ව ඒතරම දුර යවන්නට දෙමාපියණ්ට හැකියාවක් නැහැ. ඒ නිසා ළගම තිබෙන සිංහල පාසැලට යවන්න සිදුවී තිබෙන අතර ඉගෙනීමට සිදුවන්නේ සිංහල භාෂාවෙන් හින්දු ආගම වෙනුවට බෞද්ධ ආගම. ගණිතය ඉංග්‍රීසි විද්‍යාව වැනි විෂයන් සඳහා ගුරු හිගයට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. මේ නිසා වතුකර දෙමළ ළමුන්ගේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.”යැයි ඇන්ටන් වනත්තයියා පැහැදිළි කළේය.
2023 පෙබරවාරි වන විට උඩරට දෙමළ ප්‍රජාවේ පළමු පරම්පරාවන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරේ.