මැතිවරණයක් පැවැත්විය යුතුමද? -කෙහෙලිය රඹුක්වැල්ල – මහනුවර වාර්තාකරු

කලට වේලාවට මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුයැයි පවසන්නා සේම ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එවැන්නක් සඳහා රටේ පවතින මුදල් වැය කිරීම සුදුසුද යන්න සැවොම කල්පනා කර බැලිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
රාජ්‍ය බලය වෙනස් වීම කෙරෙහි කිසිදු ආකාරයකින් බල නොපාන පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් පවතින මුදල් වැය කිරීම රටේ බහුතරයක් දෙනා අනුමත කරන බවක් පෙනෙන්නට නැතැයි ද ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 ක් සඳහා නාම යෝජනා ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා පෙරේදා (21) මේ බව පැවසුවේය.

මහා විනාශයක් කරා ගමන් කරමින් තිබූ රට නිවැරදි පීල්ලට ගෙන එමින් අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ලබා දීමට ජනපති රනින් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව අප අමතක නොකළ යුතු යැයි ද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එජාපය පළාත් පාලන මැතිවරණයේ දී එකට එකතු වී තරඟ කිරීමට පියවර ගත්තේ ජයග්‍රහණය සඳහා විධිමත් සැළසුමක් ඇතිව යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

හැට නව ලක්ෂයක් ජනවරමක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පිළිබඳව කතා කළත් පසුගිය කාලයේ ආණ්ඩුවක් නොමැති අරාජික තත්ත්වයකට රට ගමන් කළ බවත් ගාලු මුවදොරෙන් පටන් ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය,අරලියගහ මැදුර,ජනපති මන්දිරය,අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම ඔස්සේ අවසානයේ පාර්ලිමේන්තුව ද අල්ලා ගැනීමට උත්සහ කරත් දී එය වැලැක්වීම සඳහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සුදුදුම ක්‍රියාමාර්ගය ගත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed