වසන්ත මුදලිගේ සිරකර දින 150යි – මෙලනි මානෙල් පෙරේරා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩගුවට ගෙන දින 150ක් සපුරන ශිෂ්‍ය නායකයා  නිදහස්කර ගැනීමට රජයට දැඩි බලපෑම්. මානව හිමිකම් සංවිධාන 07, දැවැන්ත විරෝධතාවක් සහ දිවුරුම් ප්‍රකාශ 1000ක් මගින් රජයට බලපෑම්. 
 
ජනතා අරගලයේ ක්‍රියාකාරී නියමුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරජනවාරි 16 වැනිදාට, දින 150ක් සම්පුර්ණ විය. ඔහු නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුලු සංවිධාන රැසක් ඊයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වු අතර, මුදලිගේ නිදහස්කරන ලෙස රජයට බලකිරීමේ ප්‍රයත්නය තිව්‍රකරමින් මානව හිමිකම් සංවිධාන 07ක් වසන්ත මුදලිගේ වහා නිදහස්කරන ලෙස බලකර සිටිති. එමෙන්ම ඔහු නිදහස් කරන ලෙස බලකරමින් දිවුරුම් ප්‍රකාශ 1000ක් අද අධිකරණයට භාරදීමට නියමිතයි.
 

වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළයුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ජනවාරි 16 වැනිදා, අවධාරණය කළහ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් , මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) , CIVICUS,  පෙරටුගාමී ආරක්ෂකයින් (Frontline Defenders) , හියුමන් රයිට්ස් වොච් , ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ  සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන, මෙසේ ශ්‍රී ලංකා රජයට බලකර සිටිති.  

 
අවිහිංසාවාදී විරෝධතාවලට සම්බන්ධ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්තනෝමතික මෙලෙස රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්ත මර්දන නීති අනිසි ලෙස භාවිතා කිරීම ප්‍රකාශනයේ නිදහස, ඇසුරු කිරීම සහ සාමකාමී රැස්වීම යන අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව මෙකී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 07 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

2022 ආරම්භකළ අරගලයේ විරෝධතාවලට සහභාගී වූ බව කියන අනෙකුත් ක්‍රියාකාරීන් පසුපසද බලධාරීන් හඹා යමින් ඇති බව ද පෙන්වා දෙන ජාත්‍යන්තර සංවිධාන 07, රජයට එරෙහි විරෝධතාකරුවන් ,ත්‍රස්තවාදීන් සහ ෆැසිස්ට්වාදීන්, බවටත් පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ යළි විරෝධතා මතුවුවහොත් හදිසි නීතිය සහ හමුදාව යළි යොදවන බවටත් ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයි ද පෙන්වා දෙයි.
 
“ප්‍රකාශනයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට” ඇති අයිතියට ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම ගරු කළ යුතුයැයි පෙන්වා දෙන මානව හිමිකම් සංවිධාන 07 , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන චෝදනාවලට මුහුණ දී සිටින සියලුම විරෝධතාකරුවන් ද නිදහස් කළ යුතු බව අවධාරණය කළහ.
 

වසන්ත සහෝදරය විතරක් නෙමේ, මේ රටේ දැවැන්ත ජනතාවක් අරගලයේ උද්ඝෝෂණවලට සහභාගි වුණා. ඇයි වසන්ත සහෝදරයා විතරක් මේ විදියට සිරකරලා තබාගෙන ඉන්නේ? ඒ නිසා වසන්ත සහෝදරයා නිදහස් කිරීමට අදාළ මැදිහත් වීම වහාම කරන්න කියලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි බලකර සිටිනවා. නැතිනම් අප සියලුම ජනතාව අත්අඩංගුවට ගතයුතුයි”, යනුවෙන් ඊයේ පැවතී උද්ඝෝෂණය අතරදී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්රිගූ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

වසන්තගේ නිදහස වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුලු සංවිධාන පසුගිය සති කිහිපය තුළ  විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූහ.

 
එමෙන් ම, දැනට රක්ෂිත බන්ධනාගාරත කර සිටින වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් “හෘදසාක්‍ෂිය”  යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක්, ජනවාරි 9 වැනිදා පස්වරුවේ ගාලුමුවදොරදී ආරම්භ විය. එදින සිට විවිධ පළාත් වලින් එකතු කරනු ලැබු දිවුරුම් ප්‍රකාශ 1000, ජනවාරි 17  දින දී පෙරවරු 11.00 පසුව මහාධිකරණයට භාරදීමට කටයුතු සලසා ඇති බව එහි සංවිධායකවරු ප්‍රකාශ කළහ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed