කදුකරයේ රක්ෂිත ගිනි තැබීම අරඹයී – චන්දන ජයවීර – හැටන්

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවල ස්වාභාවික ජල මූලාශ සහිත රක්ෂිත හා මානා පතන් වලට ගිනි තැබීමට පටන්ගෙන ඇති නිසා එම ජල මූලාශ සිඳි යෑමේ තර්ජණයට ලක්ව ඇති බව පරිසරවේදීහූ පෙන්වා දෙති.
මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින වියලි කාලගුණික තත්වයත් සමග වන සතුන් දඩයමේ යෙදෙන පුද්ගලයින් හා ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් මෙම ගිනි තැබීම් සිදු කරන බවට ප්‍රදේශයේ ජනතාව පවසති.
ඉකුත් සති කීපය තුල මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ පිහිටි යුකලිප්ටස් වන වගාවකට හා කාසල්රී ජලාශ රක්ෂිතයේ මානා පතන් වලට මෙම පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් අක්කර සිය ගණනක් විනාශයට පත් විය. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දරා මෙම ගිනි ගැනීම් පැතිරයාම වළක්වා නිවා දැමීමට කටයුතු කරති.
සෑම වසරකදීම මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට වියලි කාලගුණය එළඹීමත් සමග වන සතුන් දඩයම් කරන පිරිස් හා සංවිධානාත්මක කණ්ඩායම් මෙන්ම හුදු විනෝදයට ගිනි තැබීම් සිදු කරමින් මෙලෙස සිදු කරන වන විනාශයෙන් ස්වභාවික ජල මූලාශ්‍ර සිඳී ගොස් ප්‍රධාන විදුලිබලාගාර ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමට හේතුවක් වන බව පරිසරවේදීහූ පෙන්වා දෙති.
පරිසරය හා ජාතික සම්පත් විනාශවන අයුරින් නීති විරෝධී ක්‍රියාවන්වල නිරතවන මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට විධිමත් සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශයේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *