කළු විරෝධතා සතියක් – මහනුවර වාර්තාකරු

මෙම මස 23 සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
ඖෂධ හිඟය,ඖෂධ මිල ඉහළ යෑම සහ රජය විසින් ක්‍රියාවට නන්වා තිබෙන අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම කළු විරෝධතා සතිය ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් පිරිසක් ඊයේ (19) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව උන්වහන්සේ දෙනම දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට රටේ ඖෂධ මිල රෝගීන්ට දරාගත නොහැකි ලෙස ඉහළ යත්දී අනෙක් පසින් බරපතල ඖෂධ හිඟයක් රටේ නිර්මාණය වී තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
ඖෂධ හිඟය සම්බන්ධව විවේචන එල්ල කරත් දී ඖෂධ මාෆියාවට සම්බන්ධ පිරිස් එය පාවිච්චි කරමින් හිදිසි මිල දී ගැනීම් ඔස්සේ රුපියල් 100 යේ ඖෂධය රුපියල් 1500 කට මිලට ගන්නා බවත් බංකොලොත් රටක තවදුරටත් සොකරම්,වංචා සිදුවෙනවා නම් ඊට සියලු දෙනා එරෙහි විය යුතු බවත් කී ඒ මහතා කළු විරෝධතා සතිය ප්‍රකාශයට පත් කිරීම තුළින් අපේක්ෂා කරන්නේ මේ සම්බන්ධයෙන් ජනතා අවධානය යොමු කරවීම බව ද ප්‍රකාශ කළේය.
වෘත්තිකයින් මේ වනවිට රට හැර යමින් සිටින බවත් රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති ඊට උත්තේජන සපයන බවත් ඒ මහතා කීවේය.
රජයේ රෝහල් වලින් රෝගීන්ට ඖෂධ පහක් නියම කළොත් රෝහලින් ලබාගත හැක්කේ ඉන් ඖෂධ දෙකක් පමණක් බවත් ඉතිරි ඖෂධ මිලට ගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව සිටින බවත් කී හරිත අලුත්ගේ මහතා පවතින තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව ද ඉතා සබුද්ධිකව කළු විරෝධතා සතියට සහය දෙනු ඇතැයි විශ්වාස කරන බවද පැවසුවේය.
ඉදිරියේ දී වර්ජනයකට යන්නේ නම් එය කරනු ලබන්නේ ජනතාව ද සමඟ යැයි ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *