අනුකම්පාව නොව කරුණාව ඉල්ලන හිරු නොදකින දෑස් – මෙලනි මානෙල් පෙරේරා

“නයනාලෝකගම” , ගම්පහා දිස්ත්‍රික්කයේ , කටාන ආසනය තුළ එවකට ලංකාව පුරා ඉඳිවුණූ, හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ උදාගම් සංකල්පයේ  තවත් එක් අපූරු උදාගමකි. දරීද්‍රතාවයෙන් පෙළුණු, දෑස් නොපෙණුන ප්‍රජාව වෙනුවෙන් වෙන්වුණූ මෙම භූමිය, ඔවුන් අත පත් වුයේ දැනට වසර 38කට පෙර දී එනම් 1984 ජනවාරි මස 15 වෙනි දා ය. කණවැල අල්ලාගෙන නැතිනම් සුදු සැරයටියේ ආධාරයෙන් ජීවිතය පියමං තැබු දෑස් නොපෙණුන ඒ ප්‍රජාවට, මෙදින කියා නිමකළ නොහැකි වූ සතුටක් අභිමානයක් ගෙනදුන්නා වුව ද, වර්ථමානයේ දී පවතින සමාජ ආර්ථීක සහ දේශපාලන වාතාවරණය තුළ, එදා හිසට සෙවණක් ලද ඔවුන් අද ජීවිතය ගැටගසා ගන්නට මං පතති.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ විසිර දිවි ගෙවූ දෑස් නොපෙණුන පවුල් 25ක හිසට සෙවනක් ලබා දුන් මෙකී තිළිණය, පසුව 1987 වසරේ දී තවත් දෑස් නොපෙනෙන පවුල් 20ක් සඳහා ස්ථිර නිවස්නයන්ගෙන් සමන්විතව තිළිණ විය.

“මූල් ම පවුල් 25 අතරේ මගේ අක්කාටත් නිවසක් හිමිවුණා. මේ ගෙවල් හදන්න මම සිමෙන්ති අනලා තියෙනවා. අත් උදව් දීලා තියෙනවා. හරිම සතුටක් තියෙන්නේ දෑස් නොපෙනෙන අපට වැටිලා ඉන්න අපේ ම කියලා නිවෙසක් ලැබීම.” යැයි දැනට “නයනාලෝකගම” ජීවත් ව සිටින දෑස් නොපෙනෙන සක්‍රීය වැඩිහිටි පිරිමි චරිතය වන මිහිඳු පියරත්න ප්‍රකාශ කළේය.

මිහිඳු පියරත්නගේ අක්කා ද මස්සිනා ද දෑස් නොපෙනෙන යුවලක් වූ අතර එවක ට මිහිඳු ගේ දෑස්වල ආබාධයක් නොතිබුණු බැවින් ඔහු ඔහුගේ කුටුම්භයේ අඳ නෙත් හිමි ව සිටි අනෙක් පුද්ගලයින් සඳහා අත්වැල විය. එවකට දෑස් නොපෙනෙන ප්‍රජාවගේ ප්‍රසිද්ධ සහ බහුලත ම ස්වයං රැකියාව වු අත්යන්ත්‍ර රෙදි අලෙවි කිරීම සඳහා වීදී සරණ සිය සහෝදරයින් හට මිහිඳු නිර්ලෝභී ව සැතපුම් ගණන් අත්වැල සපයා ඇත. එහෙත්, පසුකාලීනව, ජානමය තර්ජනයට ලක්වූ තමන්ගේ දෑස්වල පෙනීම ක්‍රමක් ක්‍රමයෙන් අහිමි ව ගියේ යැයි මිහිඳු ඉතා ම දුකසේ ප්‍රකාශ කළේය.

“මට හරිම දුකයි. මගේ බාල දුව සයුරි ප්‍රාර්ථනාව දකින්න මට වරම් ලැබුණේ නැහැ. දුව ලැබෙන්න ඉන්නැද්දි තමයි මගේ පෙනීම සම්පූුර්ණයෙන් ම අහිමි වුණේ” යැයි ඔහු කීවේ ය.

පරම්පරාවෙන් පැවත එන දෘෂ්‍යාබාධ තර්ජනයට, තර්ජනය කරන්නට තරම් හැකියාවක් නොමැතිකම සහතික කරමින්, මිහිඳු ගේ බාල දියණිය සයුරි ද තවත් නොබෝ දිනෙකින් සිය පියා මෙන් දැනට දකින ලෝකය නොදැක යෑමේ ඉසව්වට කෙමෙන් සමීප වෙමින් සිටින බව මිහිඳුගේ දෙවන දියණිය කම්පිත සිතින් පැවසීය.

“තව ටික කාලයකින් එයත් තාත්තා වගේ වෙනවා කියලා නංගි දන්නවා. අපි හැමෝ ම දුකෙන් ඉන්නේ. කරන්න දෙයක් නැහැ. අඩුම තරමේ කණ්නාඩි ගන්න වත්කමකුත් නැහැ.” යැයි ඇය කීවේ දැස් අග කඳුළු බිඳු පිසදමමිණි.

කාලයාගේ ඇවෑමෙන් , “නයනාලෝකගම” මූලික පවුල් අනු පවුල් බවට පත්වෙමින් වර්ථමානයේ දී සම්පුර්ණ පවුල් 75ක් ජීවත් වන අතර, එකී පවුල් අතර වැඩිහිටි 45 දෙනෙකු පමණ දෑස් නොපෙනෙන පුද්ගලයින් වෙති. ඒ හා සමාන ම සංඛ්‍යාවක් දෑස් නොපෙනුණ වැඩිහිටියන්  දිවිසැරිය නිමාකර ඇති බව මිහිඳු කීවේය. වැඩිහිටි ප්‍රජාවගේ ඉරණම එසේ වුව ද සමස්තයක් ලෙස, ඔවුන්ගේ දූ දරුවන් දෘෂ්‍යාබාධ තර්ජනයේ ගොඳූරු නොවෙති.

එහෙත්, සයුරි ප්‍රාර්ථනා මෙන් අතලොස්සක් යෞවන දරුවන් අන්ධ භාවයේ යම් යම් ලක්‍ෂණවලට ගොඳුරු වෙමින් සිටීම අකාරුණීකය. ඒ වෙනුවෙන් සටන් කිරීමේ ප්‍රාතමීක පියවරක් වන උපැස්යුවලක් පවා පැළදීමේ මූල්‍යමය හැකියාවක් නොතිබීම, අන්ධ ප්‍රජාව මුහුණ දෙමින් සිටින එක් කණගාටුදායක තත්ත්වයකි.

පවතින ආර්ථීක, සමාජ අසීරුතා සහා අවධානම් තත්ත්වයන් තුළ, ඔවුන් අන්ධ යැයි දෑත් හකුලාගෙන නිවසේ බිත්ති හතරට මැදිව බකං නිලාගෙන සිටිය නොහැක. හිසට සෙවණක් ලද ද, ඒ සෙවන යට දිවි ගෙවන ජීවිත ජීවත්කරවීම සඳහා දෑස් නොපෙනෙන වැඩිහිටියන්ගේ තවමත් වෘත්තිය වී ඇත්තේ තැන් තැන්වල ගොස් සිංදු කීම, පුටු විවීම, ඉඳල් කොසු සාදා අලෙවි කිරීම මෙන් ම ඉතාමත් ම ප්‍රසිද්ධ ස්වයං රැකියාවක් වන අත්යන්ත්‍ර රෙදි අලෙවි කිරීමයි.

එහෙත් මේ සියල්ලක් ජීවන බර ඔසවා යෑමට කරනු ලැබූ උත්සාහයන් පසුගිය වසර දෙක තුළ පැවති කෝවීඩ් වසංගතය හමුවේ අඩපණකර දැමූ බවත් දැන් දැන් යළිත් හිස ඔසවා ගන්නට උත්සාහා කරනා බවත් කොට්ටා උර, ඇඳ ඇතිරිලි සහ අත්පිස්නා මහ මග තබා අලෙවි කිරීම සිය ජීවනෝපාය කරගත් මිහිඳු පියරත්න මෙන් ම වේවැල් පුටු විවීම ජීවන වෘත්තිය කරගත් සුමිත් පතිරණ ද පැවසුවේ දැන් නම් අපට ජීවිතය මහා බරක් යැයි කියන්නාක් මෙනි.

“අද මේ බඩුවල ගණන් එක්ක මනුෂ්‍යයෙකුට ගානක් කියන්න හරිම අමාරුයි. අපි ගණන් කියපුවාම මිනිස්සු උඩ යනවා. ගාන අහලා ගන්නේ නැතිව යන්න යනවා. දෙපාරක් හිතනවා. අපේ බඩු මිනිස්සු ගත්තේ නැත්තම්, සිංදුව රසවිඳලා කීයක් හරි නොදී ගියොත්, පුටුවක් වියා නොගෙන පැත්තකට දැම්මොත් අපිට ජීවත් වෙන්න විධියක් නැහැ. අසරණ අපි ගැන අවධානයක් නැහැ කිව්වොත් හරි.” යැයි මිහිඳූ කීවේය.

සමෘද්ධි දීමනාව සහ ආබාධිත දීමනාවක් ද ලබාගත්ත ද පවතින ආර්ථීක පීඩනයට මුහුණ දීම ඉතා ම දුෂ්කර කාර්යයක් බවත්, එ නිසා ම කෙතරම් වයෝවෘද්ද වූව ද දෑස් නොපෙනෙන වැඩිහිටියන් හට විවේකි සුවයෙන් හිඳීම හිමි ව නැති බව ඔවුන්ගේ සියලු කථාවල සාරංශයයි.

හිසට සෙවණක් හිමි වුව ද හිරුගේ එළිය දකින්නට වරම් අහිමි “නයනාලෝකගම” දෑස් නොපෙනෙන මිනිසුන්, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට ආර්ථීක ශක්තියක් මෙන් ම වියපත් ව සහ රෝගාතුරව සිටින වැඩිහිටියන්ගේ ඖෂධ මිලදී ගැනීමට සහ ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යම ය ශක්තියක් අපේක්‍ෂා කරති.

“අපි අන්ධයි කියලා අනුකම්පා කරන්න එපා. ඒත් අපිව තේරුම් අරගෙන උදේට පායන හිරුගේ ලක්‍ෂණත් හවසට බැස යන හිරුගේ චමත්කාරයත් අත්විඳන ඔබගේ කරුණාව තුළින් අපිව දකින්න” යන්න ඔවුන්ගේ දෑස් නොකියන නමුත් හද කියනා අහිංසක සිතුවිල්ලයි! ඊට නිසි පිළිතුරු සැපයීම ට මේ සමාජයට හෝ බලධරයින්ට නොහැකියාවක් නොමැත. අවශ්‍යකරන්නේ නිවරැදි දැක්මක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *