පෙරටුගාමින්ට බලය ලබා ගැනීම සිහිනයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර – මහනුවර වාර්තාකරු

මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර ද බෙදීමක් නිර්මාණය වී තිබෙන බව කෝප් කමිටුවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
මැතිවරණයක් පැවත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම මුලින් පොදු එකඟතාවකට පැමිණිය යුුතු බවත් ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් බවත් ඒ මහතා කීය.
මහනුවර සහස් උයනේ දී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ස්වාධීන මැතිවරණ කොමිසමට කිසිවෙකු ගෙන් නොවිමසා මැතිවරණයක් පැවැත්විය හැකි බවත් කොමිසම ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
පක්ෂ කිහිපයක් ජනමතය උරගා බැලීම සඳහා මැතිවරණයක් ඉල්ලා සිටිත් දී තවත් පිරිසක් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වැය කිරීම අපේ ආර්ථිකයකට දරාගත හැකිද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවත් කී ඒ මහතා මෙම සියලු කරුණු මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මැතිවරණයට මුහුණ දීම සඳහා සූදානම් වෙමින් සිටින බවද අවධාරණය කළේය.
අරගලයට මුවා වී මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අඩු තරමේ ජනතා කැමැත්තෙන් ගම් සභාවක් හෝ දිනාගත නොහැකි ඇතැම් පක්ෂ මැතිවරණයක් ඉල්ලමින් බොරුවට කෑගසමින් සිටින බවද කොප් කමිටු සභාපතිවරයා පැවසුවේය.

දශක පහක දේශපාලන ඉතිහාසයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 3 % ක් බවත් පෙරටුගාමීන්ට ගම් සභාවක හෝ බලය ලබා ගැනීම සිහිනයක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed