පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 13දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඒ මහතාගේ පුතා ඇතුළු පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් 13 දෙනා මෙම මස 18 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඊයේ (04) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ද වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර සිසුවාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා හිටපු සභාපති යන දෙදෙනා ගේ ශිෂ්‍යභාවය පසුගිය 27 දින තාවකාලිකව අත්හිටවනු ලැබීය. ඊට දින දෙකකට පසු හිටපු සභාපතිවරයා මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු උපකුලපතිවරයාට සහ ඒ මහතාගේ පවුලේ උදවියටත් නිල නිවසටත් පහර දීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගත් සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය පසුගිය 13 දින විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවීමෙන් පසු එම සිසුන් පේරාදෙණිය පොලීසියට බාරවූහ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සිසුන් පසුගිය 22 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහි දී හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සිසුන් 06 දෙනෙකු හඳුනා ගත්තේය.
යළිත් සිසුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඊයේ (04) නඩුව කැඳවන ලද අවස්ථාවේ සිසුන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී හඳුනා නොගත් සිසුන්ට හෝ ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබූහ.
පොදු දේපොළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබීමත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන්ව නොමැති නිසාත් සිසුන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *