මහනුවර නවතා තිබු සංවර්ධන ව්‍යාපෘති මෙම වසර මැදභාගයේ යළි ආරම්භ කරයි – නිමල් කොළඹිස්ස – මහනුවර

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇණහිට තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති මෙම වර්ෂයේ මැදභාගයේදී ආරම්භ කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
මහනුවර ගුඩ්ෂෙඩ් බහුවිදි ප්‍රවාහන මාදිලි පර්යන්තය, නාගරික අපජල ව්‍යාපෘතිය ඇතුලු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඒ අනුව අවසන් කරන බව කමිටු සභාපතිවරයා කීවේය.
නව අවුරුද්දේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (02) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඉදිකිරීම් නවතා ඇති මහා මාර්ග, උමං මාර්ග සහ මහනුවර නගරයෙන් බාහිර හාරස්පත්තුව ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් ද ඇතුලු සංවර්ධන යෝජනා ක්‍රම රැසක කටයුතු නිම කිරීම අපේක්ෂිත යැයි ඒ මහතා කීවේය.
බෙල්වුඩ් සෞන්දර්යය කලා නිකේතනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙම වර්ෂයේදි ආරම්භ කරන බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අය-වැය මගින් ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර දී ඇතැයි ද පැවසීය.
ආර්ථික අසීරුතාව හේතුවෙන් මැතිවරණයක් වෙත යොමු වීම මෙම අවස්ථාවේදි සිදුනොවිය යුත්තක් යැයි කී මන්ත්‍රීවරයා, මැතිවරණයක් සඳහා විශාල මුදලක් වැය කිරීම මේ අවස්ථාවේදී අසීරු කටයුත්තක් යැයි වැඩිදුරටත් කීවේය.