වකුගඩු මාරයා සමඟ පොර බදමින් බීමට දිය පොදක් ඉල්ලා හඬා වැටෙන විල්ගමුවේ මිනිස්සු

බෝ නොවෙන රෝග අතරින් මෑත කාලයේ වැඩි කතා බහකට ලක්ව තිබෙන්නේ වකුගඩු රෝගය සම්බන්ධයෙනි. මෙම රෝගීන් කොටස් දෙකකට බෙදා වෙන්කර තිබෙන අතර එක් කොටසක් වන්නේ හේතුව හඳුනා ගත් වකුගඩු රෝගීන් ය. අනෙක් පිරිස වැටෙන්නේ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන් ගේ කාණ්ඩයටය. දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් නිසි පාලනයට ලක් නොකළ අයගේ වකුගඩු රෝගි වීමේ අවධානම වැඩි බව වෛද්‍යවරු පවසති. උපතින්ම වකුගඩු වල පවත්නා රෝග තත්ත්වයන් නිසා පසු කාලීනව රෝගීන් බවට පත්වන පිරිසක් ද සිටී. මේ පිරිස ගැනෙන්නේ හේතුව හඳුනා ගත් වකුගඩු රෝගීන් ගේ කාණ්ඩයටය. මේ අතරින් සමාජයේ වැඩි කතා බහක් නිර්මාණය වී තිබෙන්නේ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන් සම්බන්ධයෙනි. මෑත කාලීනව මෙම රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාව ඉහළ යෑමත් සමඟ පර්යේෂකයින් මෙම රෝගී තත්ත්වයට හේතුව සොයා විවිධ පර්යේෂණ දියත් කළත් මේ වනතෙක් ඊට නිශ්චිතව විද්‍යාත්මකව තහවුරු කරගත් හේතුවක් කියන්නට කිසිවෙකුත් සමත්ව නැත. රසායනික පොහොර යෙදූ එළවළු වර්ග බහුලව ආහාරයට ගැනීම, රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ ජලය පානය කිරීම වැනි විවිධ හේතු මේ හා සම්බන්ධ කර ප්‍රකාශ කළත් වෛද්‍යවරු පවසන්නේ එය තාමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ නිසාම තාමත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය ට හේතුව සොයා පරීක්ෂණ දියත් වෙමින් තිබේ.

 

රෝගය ගමට ඇවිත් අවුරුදු 15 ක්…

හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන් බහුලවම වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. අති දුෂ්කර ගම්මාන රැසකින් සමන්විත මෙම ප්‍රදේශයේ ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වීම ආරම්භ වූයේ මෙයට අවුරුදු 15 කට පමණ පෙර සිටය. හඳුනා නොගත් වකුගඩු  රෝගයකට ගොදුරු වූ පුද්ගලයින් 262 නෙකු  සම්බන්ධ කර ගනිමින් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත වේදඥ පසන් ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයක දී තහවුරුව තිබෙන්නේ ඉන් 92 % ක්ම මාසික ආදායම රුපියල් 10000 ට අඩු පවුල් වල අය බවයි. එවැනි පවුලක අයෙකු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාමේ දී පත්වන අසීරුතාව අමුතුවෙන් කිවයුතු නොවන්නේය. අදාළ පුද්ගලයා පමණක් නොව පවුලේ සෙසු සාමාජිකයින් ද මේ නිසා පත්වන්නේ දැඩි දුෂ්කරතාවකටය. විල්ගමුව වැනි පොදු ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොමැති ප්‍රදේශයක ජනතාව මෙහිදී පත්වන අසීරුතාව අතිමහත්ය.

 

 

රජයෙන් දෙන වකුගඩු ආධාරය බෙහෙත් ගන්නම වියදම් වෙනවා…

අමුණුගම යාය හෙට්ටිපොළ පදිංචි හැත්තෑ තුන් හැවිරිදි කහවත්තේ ගෙදර ප්‍රේමසිරි  2007 වසරේ සිටම වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහු අද තමන් පත්ව තිබෙන අසීරුතාව මෙසේ විස්තරක කළේය. එක පාරටම කෑම කන්න බැරුව ගියා. ඇඟට පුදුම මහන්සි ගතියක් දැනෙන්න ගත්තා. ඉවසගන්න බැරි සීතලක් ඒ එක්ම දැනුනා.  කොළඹ ගිහින් ලේ පරීක්ෂා කළා. එහෙදී මට වකුගඩු රෝගය තියෙන්නේ කියලා හොයා ගත්තා. පස්සේ ප්‍රතිකාර සඳහා  මහනුවර වකුගඩු ඒකකයට එව්වා. නුවරින් බෙහෙත් දීලා මහියංගණේට දැම්මා. එතනින් ටික කාලයක් බෙහෙත් ගත්තට පස්සේ හෙට්ටිපොළ රෝහලේ ක්ලිනික් එකට යන්න කිව්වා. මේ ගමේ ගොඩක් ලෙඩ්ඩු ඉන්නවා. කීප දෙනෙක්ම මියගියා. වතුරෙන් තමයි මේ ලෙඩේ එන්නේ කියලා කියනවා. ඒත් හරියටම හේතුව දන්නේ නැහැ. මාසෙකට සැරයක් ක්ලිනික් යන්න ඕන. ඉස්සර රුපියල් 100 ට ගිය වීල් එක දැන් 300 ක් ගන්නවා. රෝහලේ බෙහෙත් නැහැ. ඒ නිසා සල්ලි වලට ගන්න වෙනවා. රජයෙන් වකුගඩු රෝගීන්ට රුපියල් 5000 ක් දෙනවා. ඒකෙන් බෙහෙත් ගන්නත් ආමාරුයි. ක්ලිනික් එකෙන් ලේ දෙකක් දුන්නා බලන්න. ඒකට රුපියල් 2000 ක් 3000 ක් යනවා. ඒ නිසා එක ලේ එකයි බලා ගත්තේ.

 

 

රෝහලට ගිය බස් එක රෝගි වෙලා…

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජී.එස් ගමගේ (42) මහතා දැක්වූයේ මෙවන් අදහසකි.  මේ කලාපයේ හැම ගමකම වකුගඩු ලෙඩ්ඩු ඉන්නවා. විල්ගමුව ප්‍රාදේශීය සභාවෙන් මහියංගණයය රෝහලට යන  රෝගීන්ට බස් එකක් දාලා තිබුණා.  බස් එක හැමදාම පිරෙනවා. දවසකට තුන් පාරක් බස් එක ගියා. දැන් ඒක නතර වෙලා. නයි කූඹිගෙන් ‍මේ ලෙඩේ හැදෙනවාද කියලා සැකයක් තිබෙනවා. මේ ගැන සොයා බලන්න කියලා මම ඉල්ලනවා. දැන් අවුරුදු 10 ක 15 ක ඉඳලා තමයි මේ ප්‍රශ්නේ. මහවැලි ගඟේ වතුර තමයි ගොඩක් අය බොන්නේ. වැලි ගොඩදාන නිසා වතුර ගොඩක් බොර වෙනවා.  පේරකනත්ත ග්‍රාම නිලධාරී වසමේ වතුර බොන්න පුළුවන් ලිං තුනයි තියෙන්නේ. අනිත් සේරම බොන්නේ මහවැලි ගඟෙන්. වකුගඩු රෝගියෙක් ඉන්නවා කියන්නේ නිතර කෙනෙක් ගෙදර ඉන්න ඕන. කොයි වෙලාවේ අසනීප වෙයිද දන්නේ නැහැ. මගේ අම්මා නැති වුණෙත් මේ රෝගයෙන්.

 

වතුර බොන්න වෙලා තියෙන්නෙත් සල්ලි දීලා…

අමුණුයාය ගම්වාසියෙකු වන ඉන්ද්‍රානි පුෂ්පාකුමාරි මෙසේ පැවසුවාය. ලිං වල වතුරේ විෂ රසායන තියෙන නිසා ඒවා බොන්න බයයි. අපි  සල්ලි දීලා වතුර ගන්නාව. තියෙන කෙනා සලිල් දීලා බිව්වට හැම කෙනාටම ඒක කරන්න බැහැ. වතුර ලීටරයක් රුපියල් 04 ක් වෙනවා. මේ ගමේ පොඩි ළමයින්ට පවා වකුගඩු ලෙඩේ තියෙනවා.  විල්ගමුව,මාරක අමුණුයාය,උණගොල්ල,අලිකන්ද,නාමිනිගොල්ල හඳුන්ගමුව,පේරගෝලල කියන හැම ගමකට රෝගීන්  ඉන්නවා. ප්‍රවාහන පහසුකම් නැති නිසා සමහරු ගෙවල් වලම මිය යනවා. ලෙඩෙක් අරන් නුවර යන්න  රුපියල් නුවරට 30000 ක් විතර යනවා. කෑම බීමට යන වියදම් එක්ක ඒ වගේ මුදලක් වියදම් කරන්න අමාරුයි.

 

 

 

 

කුඹුරු පිට්ටනි වෙලා…

ආර්.එම් ලීලාවතී (59)  මගේ මහත්මියගේ සැමියා එම්. සෙනෙවිරත්න හැත්තෑ එක් හැවිරිදිය. සැමියාගේ රෝගී තත්ත්වයත් සමඟ රෝගී ඇය මුහුණ දී සිටින්නේ අසීරුතා ගොඩකටය.  ඒ සම්බන්ධව ඇය මෙසේ කරුණු දැක්වූවාය. අවුරුදු පහක හයක ඉඳන්  මහත්තයාට වකුගඩු රෝගය තියෙනවා. එයා ගොවිතැන් කරන්නේ. අපිට වෙන ආදායම් නැහැ. රෝගය නිසා දැන් ගොවිතැන් කරන්නත් බැහැ. බෙහෙත් ගන්න මහිංයගණේ යන්න ඕන. එයාට තනියම මහියංගණේට යන්න බැරි නිසා තනියට මමත් යනවා. දැන් දෙන්නෙක් බස් එකේ ගියත්  තුන්හාරදාහක් වියදම් වෙනවා. හෙට්ටිපොල  රෝහලට කිලෝ මීටර් තුනක් විතර තියෙනවා. ඒකට නම් අපි යන්නේ පයින්.  රෝහලේ බෙහෙත් නැති එක තමයි ප්‍රශ්නේ. ලේ බලන්නත් පිටින් වෙනවා. ඒවට රුපියල් 4000 ක් විතර යනවා. දැන්  මාස තුන හතරකින් ලේ බැලුවේ නැහැ. වියදමට සල්ලි නැතුව කොහොමද ඒවා කරන්නේ. මගෙත් ඇහැක අමාරුවක් ආවා. මාසෙට දෙපාරක් ක්ලිනික් යන්න ඕන. සල්ලි ඔක්කොම බෙහෙත් වලට වියදම් වෙනවා. වී වලට මිලක් නැහැ. කුඹුරු ඔක්කොම දැන් පිට්ටනි වගේ. බෙහෙත් පොහොර නැති නිසා මේ පාර අස්වැන්නත්  අඩුයි.

 

 

ගම්මාන පහකටම වතුර ගන්න තියෙන්නේ එක පොම්පය යි…

ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු කරන ලද පානීය ජලය බෙදා හරිනු ලබන්නේ විල්ගමුව පාසැලෙනි. හෙට්ටිපොළ,නාමිනි යාය,හැරමිටිගාල,දිවුල්ගස්යාය,අමුණුයාය,ගල්කරුතැන්න කියන ගම්මාන පහේ ජීවත් වන  පවුල් 1000 ක් පමණම ජලය ලබා ගැනීමට පැමිණෙන්නේ මෙම ස්ථානයට ය. එහි දී මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳව නිමල් ඒකනායක (63) මහතා මෙසේ විස්තර කළේය. ඉස්කෝලේ දවසට හවස දෙකෙන් පස්සේ තමයි වතුර ගමේ අයට බෙදා හරින්නේ. ඉස්කෝලේ අරින වෙලාවට මෙතන ලොකු පෝලිමක් තියෙනවා. අපි ඉස්කෝලේ ඇරෙන්න කලින්ම පෝලිමට එනවා. තව නළයක් අපිට දාලා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට  ලිපියක් බාර දුන්නා. සමහරු කිලෝ මීටර් පහ හයක් වතුර මොයාගෙන පයින් එනවා.

 

 

වකුගඩු රෝගීන් 526 % කින් වැඩි වෙලා…

මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 2004 සිට 2019 දක්වා අතර කාලයේදී සියයට පන්සිය දහසයකින් ඉහළ ගොස් තිබේ. වර්ෂ 2004 දී පළාතින් වාර්තා වූ 7763 ක් වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව මේවන විට 47891 දක්වා ඉහළ ගොස් ඇත.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය. මධ්‍යම පළාතේ 2004 දී හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2010 වෙත්දී ඒක 21219 ක් දක්වා ඉහළ ගියා.2019 දී මේ සංඛ්‍යාව 47891 ක් ලෙස හඳුනා ගත්තා. මේක 516 % ක වැඩ විමක්. පළාතේ වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වෙන්නේ මාතලේ විල්ගමුව ප්‍රදේශයෙන්. වියළි කාලගුණික තත්ත්වයක් තිබෙන ප්‍රදේශ වල මේ රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.නුවරඑළිය වගේ සීත කාලගුණික තත්ත්වයක් තිබෙන ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් වාර්තා වෙන්නේ අඩුවෙන්.පුර නැගුම ව්‍යාපෘතිය යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමට වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මකයි. ඒ යටතේ දඹුල්ල,විල්ගමුව, උඩවෙල ප්‍රදේශ වලට ජලය ලබා දීමට රුපියල් මිලියන 2220 ක වියදමින් පානය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

 

විල්ගමුවේ විතරක් රෝගීන් 1300 ක් ඉන්නවා.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් උදේශ දිසානායක මහතා මෙසේ පැවසුවේය. විල්ගමුවේ  වකුගඩු රෝගීන් 1300 ක් පමණ ඉනන්වා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමස්ත ජනතාවගෙන් 78 % ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. වාර්තා වී තිබෙන වකුගඩු රෝගීන් ගෙන් 60 % ක්ම පිරිමි අයයි. මේ රෝගීන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී විශාල දුෂ්කරතාවකට පත් වෙනවා. පානිය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට පියවර රැසක් ගෙන තිබෙනවා. බවුසර් මගින් ජලය බෙදා හැරීමටද පියවර ගෙන තිබෙනා.

 

බලධාරීන් කෙසේ කීවද විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වකුගඩු රෝගීන් මේ වනවිට මුහුණ දී සිටින්නේ දැඩි අසීරුතාවකටය. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් සායන මග හරිමින් වෛද්‍ය පරීක්ෂණ හෙටට කල් දමමින් ජීවත් වීමට පෙළඹී සිටිති. මේ නිසා  මරණය එක් පැත්තකින් ඔවුන් කරා පැමිණෙන වේගය වැඩි වෙත් දී  දේශපාලනඥයින් හා නිලධාරීන් ශීත කාමර වල සිට ඔවුන් මරණයෙන් ගලවා ගැනීම සඳහා සකස් කරන සැළසුම් මේ දුෂ්කර ගම්මාන වල ජනතාව වෙත එන්නේ ඉබි ගමනින් විම අවාසනාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *