මහනුවර සිදු වන ඉඩම් ජාවාරම – මහනුවර වාර්තාකරු

මහනුවර මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන් නාගරික ඉඩම් සතු මුල් අයිතිකරුවන් ගේ වරිපනම් අංක හිතූ මනාපයට වෙනස් කර එම අංක වෙනත් පුද්ගලයින්ට ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට නාගරික වැසියෝ චෝදනා කරති.
නාගරික ඉඩමක වරිපනම් අංකය වෙනස් කිරීම සඳහා නව හිමිකරු විසින් හිමිකම් ඔප්පුවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවත් හිමිකම් ඔප්පුව නොමැතිව වරිපනම් අංක වෙනස් කර තිබෙන බව විගණන පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ.
මෙලෙස වරිපනම් අංකය වෙනස් කිරීම නිසා ගැටලු රැසකට මුහුණ දුන් මහනුවර මහයියාව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු වන එස්.ඩබ්ලිව් තිලකරත්න නැමැති අය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධව නාගරික කොමසාරිස්වරයා වෙත පැමිණිලි කළ ද වරිපනම් අංකය වෙනස් කිරීම සම්බන්ධයෙන් නගර සභාව පිළිගත හැකි පිළිතුරක් ලබා නොදුන් බව තිලකරත්න මහතා පැවසීය.
තම ඉඩම සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බව දන්වමින් තමන් ගේ අනුදැනුකින් තොරව වරිපනම් අංකය වෙනස් නොකරන ලෙස මහනුවර මහ නගර සභා පාරිපාලනය අවස්ථා කිහිපයක දී දැනුවත් කළත් කිසිදු දැනුම් දීමක් නොකර තම වරිපනම් අංකය වෙනත් අයෙකුට පවරා තිබෙන බව ද ඒ මහතා කීය.
අයිතිය ලියාපදිංචි කිරීම වඩාත් ඉක්මන් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් පූර්ව අයිතිකරුගේ කැමැත්ත ලබා ගැනීමක් හෝ ඔවුන්ට දැනුම් දීමක් නොකරන බව තක්සේරු අංශය පවසයි.
තම වරිපනම් අංකය වෙනස් නොකරන ලෙස තිලකරත්න මහතා අවස්ථා කිහිපයක දී නගර සභාව දැනුවත් කර තිබෙන බැවින් ඔහුගේ වරිපනම් අංකය වෙනස් කිරීමට පෙර ඔහු දැනුවත් කිරීමට තිබූ බව විගණනයේ දී නිරීක්ෂණය වී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *