අපෝස්තලික සොහොයුරියක් සිය 100 වැනි උපන්දිනය සහ 75 වැනි පැවිදි ජීවිතය සමරයි – මෙලනි මානෙල් පෙරේරා

‘ඇය තුළ මා දකින විශේෂත්වය නම්, එතුමිය මෙහි අප සමඟ ජීවත් වන නමුත්, ඇගේ ආත්මය සමිඳාණන් වහන්සේ සමඟ පැවතීමයි. මන්ද, ඇය ඉතා අභියෝගාත්මක සහ කීකරු ජීවිතයක් තුළින් ආදර්ශවත්, ලස්සණ, කැපවුණු , ජීවිතයක් අප ඉදිරියේ ගතකර ඇත. එබැවින් අද අපි එතුමිය වෙනුවෙන් දෙවියන්ට ස්තූතිවන්ත වෙමු. එතුමියගේ පැවිදි හවුලට ස්තූතිවන්ත වෙමු.” යැයි වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමි ප්‍රකාශ කළේය.
හලාවත රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක, වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් එසේ ප්‍රකාශ කළේ අපෝස්තලික කාර්මෙල් නිකායේ (AC) මේරි තියෝනිලා සොහොයුරියගේ 100 වැනි ජන්ම දිනය සහ 75 වසරක පැවිදි ජීවිතය වෙනුවෙන් පවත්වන්නට යෙදුණු තුති පිදීමේ දිව්‍ය යාගය අවස්ථාවෙිදී ය.
“මහිමය, ප්‍රශංසාව සහ ත්‍රිත්ව දෙවිදුන්ට ස්තුතිය” යන තේමාව යටතේ හලාවත රදගුරු පදවියේ පිහිටි නයිනමඩම ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී, දෙසැම්බර් මස 08 වන දින අපෝස්තලික කාර්මෙල් නිකායේ පැ විදි සහෝදරියන් , තවත් පැවිදි සොයුරියන් සහ පූජකතුමන්ලා, තියෝනිල්ලා පැවිදි සොයුරියගේ ඥාතීන් සහ මීසම් ජනතාවගේ සහභාගීත්වයෙන් ස්තුති දීමේ දිව්‍ය පූජාව පවත්වන ලදී.
තියෝනිල්ලා පැවිදි සොයුරිය වසර 75ක් පුරාවට අපට ලබාදුන් ඉතාම ලස්සණ, කැපවුණු , ආදර්ශමත් පැවිදි ජීවිතය ගැන දෙවිමහෝත්තමයාණන්ට ස්තුති කරමින්, තවදුරටත් අවශ්‍ය මානසික හා ශාරිරික සුවය එතුමියට දානය කරන්න කියලා මේ උතුම් දිව්‍ය යාගය තුළින් අපි දෙවිමහෝත්තමයාණන්ගෙන් ඉල්ලා සිටිමු, දිව්‍ය පූජාව ආරම්භයේ දි යැයි රදගුරු හිමි සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේය.

ලෝකය මවන්නටත් පෙර සිට ම දෙවියන්වහන්සේ අපි ගැන සිතා ඇති බව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන බව සිහිපත් කළ රදගුරු හිමිපාණන්, අප සියලුම දෙනාව දෙවියන්වහන්සේ තෝරාගෙන තිබෙන්නේ විශේෂ කටයුත්තකට යැයි ද, උන්වහන්සේගේ දරුවන් හැටියට මේ ලොව තුළ ජීවත්වෙලා, දේවරාජ්‍යයට ගමන් කිරීමත්, ඒ යන ගමනට, අපගේ ජීවිත සාක්‍ෂිය තුළින් අනෙක් අයව ද , දෙවියන් වහන්සේ නොදන්නා මිනිසුන් ව ද කැටිව ගමන් කිරීමත් එම විශේෂ කටයුත්ත යැයි සිහිපත් කළේය.
පූජාප්‍රසාදිතුමෙක් හෝ පැවිදි කෙනෙක් කියන්නේ ඒ කාර්යයට නායකත්වය දෙන්න කැඳවා තිබෙන කෙනෙක් යැයි ප්‍රකාශ කළ රදගුරු හිමි, දෙවියන් තුළ පූජක පැවිදි අප ගමන්කරනවා දැකීම අද දේව ජනතාව අපෙන් බලාපොරොත්තු වන කාරණාවක් යැයි ද පැවසීය.

“ඇය තුළ මා දකින විශේෂත්වය නම්, ඇය මෙහි සිටින නමුත් ඇගේ ආත්මය සමිඳාණන් වහන්සේ සමඟයි. අපි අද දෙවියන් වහන්සේට එවැනි ආදර්ශමත් ජීවිතයක් ඔප්පු කරනවා. අපි නිකම්ම නිකම් ලස්සන අංක 100 සමරනවා නොවෙයි. එතුමිය අප ඉදිරියෙහි පෙන්වා ඇති ඉතාම ලස්සණ, ආදර්ශමත් ජීවිතයක් තමයි අපි සමරන්නෙ. ඒ නිසා අපි ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබගේ පැවිදි හවුල ගැන දෙවියන් වහන්සේට අපි ස්තුති කරනවා.” යනුවෙන් රදගුරු හිමි සුභාශිංසන එක්කළේය.

“යුද්ධය නිසා කන්න නැතිවුණු අයට ආහාර සොයා දුන්නා. හමුදාවේ අත්අඩංගුවේ පසුවුණු අයව බලන්න ගියා. අධ්‍යාපනයේ සහ අධ්‍යාත්මික පිපාසාවෙන් සිටී හැමදෙනාට ම පිළිතුරක් වුණා. අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ කරගෙන ඒවාට විසඳුම් ලැබෙනතුරු ඔවුන් අත්නාරින්නට අපේ සිස්සටර් පුදුමාකාර දක්‍ෂකමක් දැක්වුවා.” යනුවෙන් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.උපන්දින කේක් කපා සිය100වන උපන්දිනය සමරන්නට සියලුම දෙනා එක්විය.

දිගුකාලීනව ගුරු වෘත්තීයේ ද පසුව විවිධ මානූෂීය ක්‍රියාකාරකම්වලද නිරත වෙමින් පුරා වසර 75ක් දෙවියන්ට ප්‍රසන්න, ආදර්ශමත් , කැපවුණූ පැවිදි දිවියක් ගත කළ තියෝනිල්ලා පැවිදි සොයුරිය, වර්ථමානයේදි නයිනමඩම ශාන්ත පවුස්තිනා කන්‍යාරාමයේ විවේක සුවයෙන් පසුවන්නීය.
