ශ්‍රී ලාංකීකයින් වෙනුවෙන් හිරබත් කෑ දෙදෙනා ඇප මත නිදහස්, එහෙත් වසන්ත යළිත් ඇතුලට – මෙලනි මානෙල් පෙරේරා


පූජ්‍ය සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරීස් සහ කමල් විජේසිරි ඇතුලු නීතීඥ පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිධම්ම හිමියන් දින 89ක කාලයක් රඳවා තබාගෙන සිටි අතර , පසුගිය නොවැම්බර් 14 වෙනිදා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
පසුගිය නොවැම්බර් 23වෙනිදා පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළ ද වෙනත් නඩුවක් වෙනුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ, පසුගිය මැයි මාසයේදි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් කලහාකාරි ලෙස හැසිරීම , පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට භාධා කිරීම , රජයේ දේපලවලට හානි කිරීම යනාදි චෝදනා සම්බන්ධයෙනි.
එහෙත් ඊයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවෙිදි පූජ්‍ය සිරිධම්ම හිමියන් හඳුනාගැනීමට පොලිස් නිළධාරීන්ට නොහැකිවූ අතර, සැකකාර සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ශරීර ඇප මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
කෙසේවෙතත්, වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ලබන 12වෙනි දා තෙක් වසන්ත මුදලිගේ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.

“රටේ පැවති ආර්ථීක අර්බුදයට මුහුණ දෙන්නට නොහැකිව ජනතාව දැවැන්ත අරගලයක් දියත් කළා. අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා භික්‍ෂු බලමණ්ඩලය විධියට ඒ අරගලයට මැදිහත්වීමක් අපි සිදු කළා. ඒ සඳහා ආණ්ඩුව අපිව අත්අඩංගුවට අරගෙන පිළිතුර ලබාදුන්නා. නමුත් ඒ අර්බුදය ඒ විධියට ම තිබෙනවා. ජනතාව ඒ විධියට ම ඒ අර්බුදයට මුහුණ දෙනවා. ඒ නිසා අපි අරගලය ඒ විධියට ම ඉදිරියට ගෙනියනවා.”
එමෙන් ම, “වසන්ත මුදලිගේ සහෝදරයා තවමත් අත්අඩංගුවේ පසුවෙනවා. ඔහුව නිදහස්කර ගන්නාතුරු මේ අරගලය ඉදිරියට ගෙනියනාව. ඒ වගේම රටේ ඉන්න ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සහ ජනතාවට ජීවත්වෙන්න පුලුවන් වටපිටාවක් හැදෙන තුරු මේ අරගලය ඉදිරියට ගෙනියනවා කියා මතක් කරනවා.” යැයි පූජ්‍ය සිරිධම්ම හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.