අබලන් වන බෝගම්බර ක්‍රීඩාංගණය – මහනුවර වාර්තාකරු

රුපියල් මිලියන තිස් පහක පමණ මුදලක් වැයකර මෑත කාලයේ නවීකරණය කළ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කිසිදු ක්‍රීඩාවකට භාවිත කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි එහි පාලනාධිකාරිය පවසයි.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නන්වා ඔවුන් ජත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩාංගණ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එවකට ක්‍රීඩා ඇමැතිවරයාව සිටි හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු CECB හෙවත් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය වෙත පවරනු ලැබීය. එම කාර්යාංශය මගින් ද එම නවීකරණ කටයුත්ත වෙනත් උප කොන්ත්‍රාත් සමාගමකට පවරා තිබේ.
මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු නිමකර ක්‍රීඩාංගණය නැවත භාර දීමට පියවර ගෙන තිබුණද එම කිසිදු සංවර්ධන කටයුත්තක් විධිමත් ආකාරයෙන් සිදුකර නොමැති බව ක්‍රීඩාංගණයේ භාරකාර සී.බී. විතානගේ මහතා පවසයි.

මහනුවර සියලුම පාසල්වල මලල ක්‍රීඩා උත්සව සහ රග්බි මෙන්ම පාපන්දු ක්‍රීඩා තරඟ පැවැත්වෙන බෝගම්බර ක්‍රීඩාංගණයේ මේ වනවිට කිසිදු හෝ තරගයක් නොපැවැත්වෙන බව ඔහු කීවේය.

ක්‍රීඩංගණයේ ජල බැස්ම අක්‍රමවත් නිසා සුළු වර්ෂාවක දී පවා ජලයෙන් යටවන ක්‍රීඩාංගණයේ ජලය බැස යාමට පැය දෙක තුනක කාලයක් ගතවන බවත් ජලය බැස යාම සඳහා භූගතව යොදා ඇති නළ එලීම අක්‍රමවත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවත් පාලනාධිකාරිය පෙන්වා දෙයි.

රගර් හෝ පාපන්දු තරඟයක් අතරතුර වර්ෂාවක් ඇද හැළුණහොත් ක්‍රීඩාංගණය කුඹුරක් බවට පත්වන නිසා මේ වනවිට එවැනි තරඟ සඳහා ක්‍රීඩාංගණය වෙන් කිරීම තාවකාලිකව නතර කර තිබේ.
රුපියල් ලක්ෂ ගණනයක් වැයකර ඉදිකළ මීටර් 400 ධාවන පථය කිසිදු ධාවන තරඟයක් පැවැත්වීමට නොහැකි ලෙස අබලන් තත්ත්වයට පත්ව ඇත.
ක්‍රීඩාංගණයේ තණ කොළ ඉන්දවීම සඳහා විශේෂ පස් වර්ගයක් භාවිත කළ යුතු වුවත් කොන්ත්‍රාත්කරුවන් කුඹුරු වලින් කපා ගන්නා මැටි හා සමාන ප්‍රමිතියෙන් තොර පස් වර්ගයක් බවත් බෆලෝ ග්රාස් ලෙස හඳුන් වන ක්‍රීඩාංගණ වලට නොඅල්ලන තණ කොළ යොදා ක්‍රීඩා පිටිය සකස් කර තිබෙන බවත් පාලනාධිකාරිය පෙන්වා දෙයි.

නවිකරණ කටයුතු වෙනුවෙන් වසර දෙකක පමණ කාලයක් වසා දමා තිබුණු ක්‍රීඩාංගණය යළි ආරම්භ කරන අලුත්වැඩියා කටයුතු සඳහා යළිත් වසරක පමණ කාලයක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. බෝගම්බර ක්‍රීඩාංගණයට සිදුව තිබෙන විනාශය සම්බන්ධයෙන් දිනපතා ලැබෙන පැමිණිලි පිළිබඳව සොයා බැලීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ යටිතල පහසුකම් සංවර්ධන අංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. කුලසූරිය මහතා 04 දා බෝගම්බර ක්‍රීඩාංගණයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. ක්‍රීඩාංගණය ක්‍රීඩා කටයුතු කිරීමට සුදුසු තත්ත්වයෙන් නොමැති බව එහි දී ඒ මහතා කීය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ හා රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රීඩාංගණය ක්‍රීඩා කිරීමට සුදුසු ආකාරයෙන් නැවතත් නවීකරණය කිරීම සම්බන්ධ වැඩපිළිවෙළක් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *