බිත්තරයක් 80ක් වෙයිද? – මහනුවර වාර්තාකරු

බිත්තර මිල ඉදිරි උත්සව සමයේ දී රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි.
මේ වනවිට බිත්තර මිල රුපියල් 50-60 අතර සීමාවේ පවතින්නේ බිත්තර පරිභෝජනය අඩුවීම නිසා බවත් ඉදිරි උත්සව සමයේ දී බිත්තර පරිභෝජනය ඉහළ යෑමත් සමඟ මෙම මිල ඉහළ යනු ඇති බවත් ඒ මහතා කීය.
රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුළුව පසුගිය 02වනදා මහනුවර ඕක්රේ හෝටලයේ දී පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය. ළමා මන්දපෝෂණය, පෝෂණ ඌනතා, ආහාර හිඟය ගැන තමයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීම අභියෝගයක්. කුඩා දරුවාගේ සිට ගැබිණි මව මෙන්ම කිරිදෙන මට දක්වාම මේ ප්‍රශ්නය බලපාලා. පහසුවෙන්ම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන්නේ සත්ත්ව ප්‍රෝටීන වන බිත්තර,කිරි හා මස් වලින්. ඒත් අද මේවාහි මිල ගණන් ඉහළ ගිහින් තිබීමත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාත් සමාජය තුළ විශාල ගැටලුවක් ඇති වෙලා. ජනතාවට අවශ්‍යය සත්ත්ව ප්‍රෝටීන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තමයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සියලු අංශ හැදිලා තියෙන්නේ. නිලධාරීන් ගැටලු ගැන සාකච්ඡා සම්මන්ත්‍රණ තිබෙනවා විතරයි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඊට අවශ්‍යය තාක්ෂණික සහය ලබාදෙන්න අපි සූදානම්.

කුඩා හා මධ්‍යම පරිමාණ කුකුළු හා කිරි ගොවීන් දැඩි අර්බුදයක ඉන්නේ. විදුලි බිල,ඉන්ධන මිල, අමුද්‍රව්‍යය මිල ඔවුන්ට දරාගන්න බැරි විදිහට ඉහළ ගිහින්. මේ වෙලාවේ තමයි පශු වෛද්‍යවරු බිම් මට්ටමට ගිහින් ඔවුන් ට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ධෛර්මත් කරන්න ඕන වෙලාව. ක්ෂේත්‍ර නිලධාරීන්ට රාජකාරී සඳහා සතියකට දෙන්නේ පෙට්ට්‍රල් ලීටර් 04 යි. මේ ගැන ඇමැතිවරයාට මෙන්ම නිලධාරීන්ට කිව්වා. තාමත් විසඳුමක් නැහැ. මේකට ඉක්මන් විසඳුමක් නොදුන්නොත් අපේ ආහාර සුරක්ෂිතතාවට විශාල හානියක් වෙයි. අයවැය මගින් කුණ්ඩසාලේ අභිජනන මධ්‍යස්ථානය සංවර්ධනය කරලා ඉහළ මට්ටමකට ගේනන මුදල් වෙන් කළා. මින් සාර්ථක ප්‍රතිපල ගන්න නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසකායා රැක ගන්න ඕන. විදුලි බිල වගේම ඉන්ධන මිල මේ අයට දරා ගන්න බැහැ. කුකළු කර්මාන්තයේ බෙහෙත් මිල ඉතා ඉහළයි. මේ නිසා බිත්තර නිෂ්පදාන මිල වැඩියි. පවතින මිලට පාරිභෝගිකයාට බිත්තර මිලට ගැනීමේ හැකියාව අඩු වෙලා. ඉල්ලුම අඩුවීම නිසා තමයි මේ ආකාරයකට බිත්තර මිල රුපියල් 50 ක සීමාවේ තිබෙන්නේ. ඉදිරි උත්සව සමයේ දී ඉල්ලුම ඉහළ යෑමත් සමඟ බිත්තරක මිල රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකියි. රටේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 70 % ක් කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයින්. නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි නිසා බිත්තර කර්මාන්තකරුවන් මව් සතුන් පවා මසට විකුණනවා. සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වුණොත් අනාගතයේ දී බිත්තර මිල පාලනය කර ගැනීමට නොහැකි ලෙස තවත් ඉහළ යා හැකියි.

මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහචාර්ය ඉදුනිල් පතිරණ,සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල,රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ,භාණ්ඩාගාරික සමිත් ප්‍රසන්ත කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *