ආබාධිත පුද්ගලයන් සඳහා බස් රථවල අසුනක් – මහනුවර වාර්තාකරු

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජත්‍යන්තරය දිනය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම හා බස්නාහිර පළාත් වල සෑම මගී ප්‍රවාහන බස් රථයකම ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ආසනයක් වෙන් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් පෙරේදා (03) ක්‍රියාත්මක කෙරිණි.
මෙහි ප්‍රධාන උත්සවය මහනුවර බෝගම්බර බස් නැවතුමේ දී ක්‍රියාත්මක කෙරුණු අතර ඊට සමගාමීව ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ජනතා අවධානය යොමු කිරීම සඳහා පොදු ස්ථාන වල ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය.
සෑම මගී ප්‍රවාහන සේවා බස් රථයකම ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ආසනයක් වෙන් කළ යුතුව තිබුණද මේ වනවිට එවැනි වෙන් කළ ආසන බහුතරයක් බස් රථ වල නොමැති වීම නිසා ආබාධ සහිත පුද්ගලයින් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව අයිතීන් උදෙසා අපි සංවිධානයේ සභාපති නිශා ෂරීෆ් මෙනවිය පවසයි.
මේ වනවිට ජත්‍යන්තර වශයෙන් ආබාධ සහිත ප්‍රජාව හැඳින්වීමට විශේෂ වචන මාලාවක් හඳුන්වා දී තිබියදී මෙරට තුළ තවමත් විශේෂ අවශ්‍යතා ඇත්තන්, ආබාධිතයින් වැනි නම් වලින් ආබාධ සහිත පුද්ගලයින් හඳුන්වන බවත් ඇතැම් බස් රථ වල ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් වෙන් කළ ආසනය හඳුනා ගැනීම සඳහා ලියා තිබෙන්නේ ආබාධිතයින්ට යනුවෙන් බවත් කී නිශා ෂරීෆ් මෙණවිය මෙය එක්තරා අන්දමින් ආබාධ සහිත පුද්ගලයින්ට කරන අගෞරවයක් බවද අවධාරණය කළාය.
ශ්‍රවනාබාධිත,දෘෂ්‍යාබාධිත,කතනාබාධිති මෙන්ම ඇවිදීමේ අසීරුතා ඇති විශාල පිරිසක් සමාජයේ සිටින බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම ඔවුන් ද පොදු මගී ප්‍රවාහනයේ කොටස් කරුවන් බවත් කී ඇය ඔවුන් නොසලකා හැර විධිමත් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළ නොහැකි යැයි ද පැවසුවාය.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා මගී ප්‍රවාහන බස් රථ තුළ දී ගුණාත්මක සේවාවක ලබා දෙන්නේ ද යන්න සම්බන්ධව නිරන්තරව අවධානයෙන් පසුවන බව මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා කීය.
මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ පූර්ණ සහයෝගය මත මගී ප්‍රවාහන සේවා බස් රථ වල අබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ආසනයක් වෙන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෙන්කළ ආසනය හඳුනා ගැනීම සඳහා බස් රථවල විශේෂ ස්ටිකරයක් ඇලවීම මෙහි දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න,මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක, බැරැන්ඩිනා ආයතනයේ ව්‍යාපෘති කළමනාකාර අර්ජුණ එරමුදුගොල්ල මහත්වරු ඇතුළු ආබාධ සහිත පුද්ගල කණ්ඩායමක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *