පොලිස් කොස්තාපල්වරයෙකු හෙරෝයින් සමග අත් අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියට අදාළව ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයෙකු හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 80 ක් සමඟ මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ අසළදී පොලීසිය මගින් ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු පසුගිය වසරේ ජුලි මස 15 දින පොලිස් සේවයට බැඳී ඇත.පුහුණුව නිම කිරීමෙන් අනතුරුව 2022 මැයි මස 21 දින ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂක කටයුතු සඳහා මොහු පසුගිය 21 දින විශේෂ රාජකාරී යටතේ මහනුවරට පැමිණ ඇත.
ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින අර්ල්ස් රිජින්සි හෝටලයේ නාන කාමරයක් තුළදී මත්කුඩු පානය කළ බව සැකකරු පොලීසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *