එච්.අයි.වී සමග සූදු කෙලින ලංකාවේ මාධ්‍ය – කමණී හෙට්ටිආරච්චි

ඩෝටර් ඔෆ් ඉන්දියා ( ඉන්දියාවේ දියණිය) බෞතීෂ්ම ලද ඉන්දියාවේ මාධ්‍ය විසින් නිර්භයා ලෙස ලොවට හඳුන්වා දුන් ලොවක් කම්පනයට පත් කළ යුවතිය මට සිහිපත් විය. ඒ මා මේ හඳුන්වා දීමට යන මවගේ කතාවට සවන් දෙන අතරතුර ය. මැය නිර්භයා ලෙස පිරිමින්ගේ සමූහ දූෂණයකට ලක් නොවුව ද ලංකාවේ මාධ්‍ය විසින් අමානුෂික ලෙස සමාජය ඉදිරියේ ඇයව දූෂණයකට ලක් කර ඝාතනය කර තිබුණේ, ඇය තවමත් අප අතර ජීවත්ව සිටියදී වී නම්, එය කෙතරම් අභාග්‍යයක් ද? මෙතැන් සිට දිග හැරෙනුයේ එම අශීලාචාර මාධ්‍ය භාවිතයේ වින්දිතයෙක් වූ නූතන පටාචාරාවකගේ ඛේදවාචකයයි.
“එක්තරා මාධ්‍ය ආයතනයකට මම කළ ප්‍රකාශයක් තමයි, මේ ප්‍රශ්න ඔක්කොටම මුල් වුණේ. මට කියලවත් නෙවෙයි ඔවුන් මගේ පින්තූරයක් එක්ක මේ වීඩියෝ එක රිලීස් කරලා තිබුණේ. මේ වීඩියෝ එක නිසා මගේ දරුවා පාසලට ගත්තේ නෑ. මේ වීඩියෝ එක නිසා වුණ අසාධාරණයට මම අදත් වන්දි ගෙවනවා.මට කිසිම තැනක රස්සාවකට යන්න බෑ. මුලදි නොදැන රස්සාව දුන්නත් දැන ගත්ත ගමන් මාව අයින් කරනවා. ගෙයක් කුලියට ගන්න බෑ. ටික දවසක් ඉන්න කොට මේ වීඩියෝ එක දැකලා කවුරු හරි ගෙවල් අයිති කෙනාට කිව්වම මට එතැනින් යන්න වෙනවා. අවුරුදු හයක් පුරා මේ ප්‍රශ්නය එක දිගට එනවා. දරුවා දැන් යන ඉස්කෝලේ ප්‍රශ්නයක් නෑ. ගුරුවරු හෝ ළමයි අතරෙ එයාට වෙනසක් නෑ. නමුත් දරුවා නඩත්තු කරන එකයි මට තියෙන ප්‍රශ්නය.”
මට දැන් මාස දෙකක් තිස්සේ රස්සාවක් නෑ.
තමන් මුහුණ දුන් ඛේදවාචකය එක හුස්මට කියා ගෙන ගිය ඇය, දිගු සුසුමක් හෙළා, තත්පර කිහිපයක් නිහඬව සිට සිය හඬ යළි අවදි කළා ය. මට කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ මිස්, මේ ළඟදි මට කරන්න දෙයක් නැතිකමට නයිට් ක්ලබ් එකක වැඩට ගියා. එතැන මට ඉන්න පුළුවන් වුණේ ටික දවසයි. අයිති නෝනා දැනගෙන මට රස්සාව නැති වුණා. දැන් මාස දෙකක් තිස්සේ රස්සාව නැතිව ගෙදර ඉන්නවා. ඊට පස්සේ මම ඒ වීඩියෝ එක කරපු කෙනාට කතා කරලා කිව්වා, කරුණාකරලා වීඩියෝ එක අයින් කරන්න. මට ජීවත් වෙන එකත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔය වීඩියෝ එක හින්දා පාරට බහින්න බෑ. ඔයගොල්ලන්ට කොච්චර කිවුවත් ඇහුවේ නැහැනේ. මට කියලත් නෙවෙයිනේ ඕගොල්ලො වීඩියෝ කළේ. මම උසාවි ගියොත් ඔයගොල්ලන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ කියලා මම කිව්වා. ඊට පස්සේ තමයි, ඒක අයින් කරලා තිබුණේ. ඊට පස්සේ ඒ ආයතනයෙන්ම කරන කාන්තා පුවත්පතක කෙනෙක් කතා කරලා, මගෙන් ඉන්ටවිව් එකක් ගත්තා. මම හිතුවේ මට සාධාරණයක් කරයි කියලා. මගෙන් අහන්නේ නැතිව පින්තූරත් එක්ක පත්තරේ දාලා. ඒ මදිවට ඒක යූ ටියුබ් එකෙත් දාලා. මේක දාලා තිබුණේ ගිය සතියේ නිසා හුඟ දෙනෙක් තාම මේක දැකලා නෑ. මම දැන් ඒ ලිපිය ලියපු කෙනා හොයනවා, මේක ආපහු නිවැරදි කරන්න කියන්න.
ලංකාවේ ප්‍රකට විද්‍යුත් නාලිකාවක් තමන්ගේ ග්‍රාහකයන් ආකරෂණය කර ගැනීම සඳහා රසමසවුලක් බවට පත් කර ගනිමින් ගුජුප්සාජනක දූ කෙළියේ යෙදී සිටින්නේ එච්.අයි.වී වෛරසය ශරීරගත වූ දෙදරු මවක් සමග ය. ඔවුන්ට මෙම මවගේ කතාව, ඇය මුහුණ දුන් සමාජ ඛේදවාචකය, ඇයගේ අනන්‍යතාව, රූපය, තමන්ගේ “හිට්” වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන තවත් එක් මෙවලමක් මිසක ලේ ඇට මස් නහර සහිත මනුෂ්‍ය දියණියක් නොවේ. ඇය මුහුණ දුන් ඛේදවාචකය මුලට අප ගමන් කළ යුත්තේ, එවැනි සිදුවීම් වීම යළි වළක්වා ගැනීම සඳහා ඇයගේ අත්දැකීම සමාජයට කිසියම් මගපෙන්වීමක් කරනු ඇතැයි, අප විශ්වාස කරන බැවිනි.
“එතකොට මට අවුරුදු 16 යි. ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙදරින් අකමැති වුණා. මම එයත් එක්ක ගියා. වයස ප්‍රශ්නය නිසා නීතියෙන් කසාද නොබැඳ එකට හිටියා. මට දරුවෙක් ලැබෙන්න ආවා. එයා මට බල කළා දරුවා නැති කරන්න.මම ඒකට කැමති වුණේ නෑ. අන්තිමේ මේ ප්‍රශ්නය නිසා අපිට එකට ඉන්න බැරි වුණා. මම අපේ අම්මලා ළඟට ගියා. දරුවා ලැබෙන්න ඉන්න කොට කරන සමාජ රෝග පරීක්ෂණ ඔක්කොම කළා. මුකුත් තිබුණේ නෑ, ඒ දවස්වල එච්.අයි.වී පරීක්ෂණය කෙරෙන්නේ නෑ. කොහොමහරි දරුවට අවුරුදු තුනක් වෙද්දි මම වෙන කෙනෙක් කසාද බැන්දා. දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට තමයි, දැන ගත්තේ එච්.අයි.වී. ශරීරගත වෙලා කියලා. ඒ 2013 පෙබරවාරි මාසේ. මහත්තයාව ටෙස්ට් කළා එයාට තිබුණේ නෑ. මේ වෙලාවේ මගේ මහත්තයාව මතක් කරන්නම ඕනේ. සමාජයෙන් මම කොච්චර නින්දා අපහාස වින්දත් එයා කිසි දවසක මට මොනවත් කිව්වේ නෑ. දෙවෙනි දරුවව ලැබෙන්න ඉන්න කොට දරුවට බෝ නොවෙන්න අවශ්‍ය බෙහෙත් කළා. දෙවැනි දරුවගේ බර කිරන්න ගමේ ක්ලිනික් එකට ගිය වෙලාවේ, මහත්තයාගෙන් මිඩ්වයිෆ් අහලා දරුවට ඇයි කිරිපිටි දෙන්නේ? කියලා.මහත්තයා හිතලා තියෙන්නේ මිඩ්වයිෆ් සිද්ධිය දන්නවා කියලා. එයා විස්තර කියලා. මිඩ්වයිෆ් මගේ මහත්තයාගේ නංගිගේ යාළුවෙක්. අන්තිමට ප්‍රශ්නය දුර දිග ගියා. මට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඒ අය මම වාඩි වෙන පුටුව පවා අයින් කරන තත්ත්වයට ආවා. අන්තිමට අපි දෙන්නා කතා කරලා මගේ කලින් දරුවා මම ගන්නත්, දෙවැනි දරුවා මහත්තයා ගන්නත් එකඟ වෙලා, අපි දෙන්නා 2014 දි වෙන් වුණා. අපි වෙන් වෙනකොට දෙවෙනි දරුවට මාස 08 යි. අවුරුද්දකට විතර පස්සේ ඒ දෙන්නව නැවත පරීක්ෂා කරලා තියෙනවා. ඒ දෙන්නට ප්‍රශ්නයක් නෑ. පස්සේ අද වෙනකම් ඒ දෙන්නව ඇහැටවත් දැකලා නෑ. අන්තිමට මට ඉන්න තැනක් නැති නිසා මම ඩොපින් (ඔඋභ* සෙන්ටර් එකට ගියා. එතැන ඉන්න කාලේ තමයි අර මාධ්‍ය ආයතනය ඒ වීඩියෝ එක කළේ. කොහොම හරි අන්තිමට පවුලේ හැමෝම මාව අයින් කළා. මට නෑදෑයෙකුට ඉන්නේ පුංචි අම්මා විතරයි. සමාජය මේ ගැන දැනුවත් නිසා හුඟක් අය මාව ධෛර්යමත් කරනවා.” ඇය පවසන්නීය.
සමාජයට වෛර නොකරන ඇයගේ ඉල්ලීම
වල්මත් වී ඉබාගාතේ යන සමාජයක අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ඉරි තැලී හිරිවැටුණු ඇගේ සිතුවිලි පෙරළා සමාජයට වෛර කරනවා වෙනුවට කෙතරම් ආදරය කරනවාද? යන වග මට පසක් වූයේ, ඇය මා වෙත සඳහන් කළ වචන කිහිපය ඔස්සේ ය.“ මම සමාජයෙන් ඉල්ලන එකම දේ තමයි, තමන්ගේ කාට හරි මේ රෝගය වැළඳුණොත් කොන් කරන්න එපා. ගෙදර අයගෙන් වගේම සියලු දෙනාගෙන් මම ඉල්ලන්නේ, ඒ අයව අත්හරින්න එපා. එච්. අයි.වී කියන්නේ ළඟ හිටියට බෝවෙන රෝගයක් නෙවෙයි. එහෙම කොන් කළොත් එයා සමජායට වෛර කරන්න පටන් ගන්නවා. එතකොට තව අයට බෝ කරන්න උත්සාහ කරයි. මම තවම ඉන්නේ තරුණ වයසේ. මටත් පුළුවන් ලස්සනට ඇඳලා, පිරිමි එක්ක ගිහින් සල්ලි හම්බ කරලා හොඳට ජීවත් වෙන්න. මට දැන් මොනවා වුණත් මොකද? මමත් මේ ලෝකේ හොඳම කොන් වීම විඳපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඇතිවන හැඟීම මම දන්නවා. එහෙම දේවල් කරන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ඒ අය කොන් කරන්න එපා” ඇය අවසානයේ ඉල්ලා සිටියාය.
එච්.අයි වී ආශ්‍රිතව ලෝකයේ මිය ගිය සංඛ්‍යාව හය ලක්ෂ අසූ දහසක්.
අපගේ කතා නායිකාවගේ එම ඉල්ලීම සහ 2021 වසරේ ලෝක ඒඩ්ස් දින තේමාව එකිනෙක කෙතරම් සමාන වන්නේ දැයි ඒ දෙස බැලීමේදී පෙනී යයි. එහි තේමාව වූයේ, “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු.” යන්න ය. ඉහත ශ්‍රී ලාංකික මව මෙන්ම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපාන මහජන සෞඛ්‍යය ගැටළුවක් වූ ඒඩ්ස් රෝගයට ලොව පුරා ගොදුරු වී ඇති සංඛ්‍යාව 2020 ඇස්තමේන්තුවට අනුව මිලියන 37.7 කි. 2020 වසරේදී එච්.අයි.වී ආශ්‍රිත හේතූන් නිසා මිය ගිය සංඛ්‍යාව 6 80 000 කි. මේ වන විට ලොව පුරා ඒඩ්ස් සම්බන්ධ රෝග තත්ත්වයන්ගෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 36.3 කි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්තවලට අනුව 2020 වර්ෂයේදී අලුතින් එච්.අයි.වී ආසාදිතයින් ලක්ෂ 15 ක් පමණ හඳුනා ගෙන ඇත. ඒඩ්ස් රෝගය නිසා ඇති කරන සමාජ අසමානතාව සහ ප්‍රතිකාර නොගෙන සිටින පිරිස් අතරට ළඟා වීම සඳහා ජනතා පෙළ ගැසීම අත්‍යාවශ්‍ය බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙයි. මෙම රෝගය මර්දනය කිරීමේදී ලෝකය සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගත්ත ද 2020 දී ගෝලීය ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වී ඇතැයි ඔවුන් පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් අතර එච්.අයි.වී වැඩිවීමේ ප්‍රවණතාවක්
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාදිතයින් 2021 වසරේ දෙවන කාර්තුවේදී 4141 ක් ලෙස හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙන එම සංඛ්‍යාලේඛනවලට අනුව ඉන් 2912 ක් පිරිමි පුද්ගලයන් වන අතර 1230 ක් කාන්තාවන් ය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එය ඉහළ අගයක් පෙන්වුම් කර ඇත. දත්ත අනුව වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ, පිරිමි සමරිසි පුද්ගලයන් අතර ය. පසුගිය වසර 05 ක කාලය තුළ වයස අවුරුදු 19 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි අය අතර ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්වුම් කර ඇත. අනාරක්ෂිත ලිංගික හැසිරීම් මීට හේතුව වී ඇත.
ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව මවගෙන් දරුවන්ට එච්.අයි.වී රෝගය ආසාදනය වීම වළක්වාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. නමුත් 2018 වසරේ මවගෙන් දරුවන්ට වෛරසය ආසාදනය වූ අවස්ථා දෙකක් වෛද්‍යවරු හඳුනාගෙන තිබේ.
දරුවෙකුට සිය මවගේන් ඒඩ්ස් ආසාදනය වූ බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් තම දරුවාට පාසලක් අහිමි වීම පිළිබඳ තනිව අරගල කළ මවගේ කතාව කිසිවෙකුට අමතක වීමට හේතුවක් නැත. මන්ද ඒ පිළිබඳව මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙනි. ඇය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ, ඇයට ආධාර උපකාර කළ සංවිධාන සහ දැනුවත් පුරවැසියන්ගෙන් ලැබුණු සහය හේතුවෙනි. සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බව එම නඩු විභාගයේදී අගවිනිසුරුවරයා කියා සිටියේ ය. එබැවින් එච්.අයි.වී. ආසාදිතයෙකුට අසාධාරණයක් නොවන පරිදි ඔවුනගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම නඩු තින්දුව ඓතිහාසික තීන්දුවක් බව ලෝක සෞඛ්‍යය සංවිධානය මෙන්ම ඹභ්ෂෘී සංවිධානයේ ආසියා සහ ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂකවරයා අවධාරණය කර තිබිණි.
ලංකාවේ අවුරුදු 30 ට අඩු තරුණයින් අතර එච්.අයි.වී පැතිරීම වර්ධනය වෙලා – ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය
ලංකාවේ එච්.අයි.වී ආසාදිතයින් සම්බන්ධයෙන් මාධ්‍යයේ හැසිරීම සහ අසාදිතයින් පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියගෙන් අප විමසීමක් කළෙමු. “අපි එච්.අයි.වී ආසාදිතයින් ගැන කිව්වම මාධ්‍යයෙන් දාන්නේ ඒඩ්ස් රෝගීන් කියලා.එච්.අයි.වී ආසාදිතයෙක් ඒඩ්ස් රෝගියෙක් වෙන්න කලින් අපි ප්‍රතිකාර කරනවා. කලාතුරකින් තමයි, ඒඩ්ස් කියන තත්ත්වය ඇති වෙන්නේ. මාධ්‍යවලින් මේ රෝග ගැන දැනුවත් වීම අවශ්‍යයයි. නමුත් ඔවුන් අතින් දේවල් එකතු කරලා සමාජයට වැරදි මතයක් දීම වැරදියි. ලංකාවේ අවුරුදු 30 අඩු තරුණයන් අතර එච්.අයි.වී පැතිරීම යම් වැඩිවීමත් වී තිබෙනවා. මේකට සියයට 90 ක් හේතුවක් වෙලා තියෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීමයි. රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ අපේ සෑම රෝහලකම වගේ තියෙනවා.” යැයි පවසන ඇය, ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ආකල්ප වෙනස් වී ඒ සම්බන්ධයෙන් විවෘතව කතා කරන වාතාවරණයක් රට තුළ ඇති විය යුතු බව ද පෙන්වා දෙන්නීය.
ජනමාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතන වගකීම් විරහිතව කරන ප්‍රචාරනයන් නිසා කවුරුන් හෝ අගතියට පත් වන්නේ නම්, එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. අපගේ කතානායිකාවට මේ වන විට රැකියාවක් කර ගත නොහැකිව වසර ගණනාවක් පුරා අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව ඇත්තේ, එක් ජනමාධ්‍ය ආයතනයක් කළ වගකීම් විරහිත ප්‍රචාරයක් නිසාය. එම නිසා අපි මේ සම්බන්ධයෙන් රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගෙන් මේ ගැන විමසීමක් කළෙමු.
මාධ්‍යකරුවා මෙන්ම මාධ්‍ය ආයතන සැම විටම වෘත්තීයභාවය ආරක්ෂා කළ යුතුයි
කෙනෙකුගේ වෛද්‍ය වාර්තාවක් කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. වෛද්‍යවරයාට සහ රෝගියාට විතරයි , එය අදාළ වෙන්නේ. හරි නම් වෛද්‍යවරයෙකුට ඒ දත්ත එළියට දෙන්න බෑ. මාධ්‍යකින් මෙවැනි දෙයක් ප්‍රකාශයට පත් කළාම වෙන හානිය ජීවිත කාලය පුරා පවතිනවා. මාධ්‍ය එය නිවැරදි කළත් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඒ නිසා මේක සම්පූර්ණ වෘත්තීයභාවය උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නෙවෙයි.මේක තව කෙනෙකුගේ ජීවිතය හා බැඳුණු ප්‍රශ්නයක්. මේ වගේ දේවල්වලට මාධ්‍ය ආයතනයට, මාධ්‍ය කරුවාට ගන්න ඕන ක්‍රියාමාර්ග ලංකාවේ නෑ.ඒ නිසා වින්දිතයාට සාධාරණයක් ඉටු වන්නේ නෑ. ඒ හේතුවෙන් මාධ්‍ය සිය සුපුරුදු ලාබාල මාධ්‍යකරණය කර ගෙන යනවා. මෙයට විසඳුම් සොයන්න පසුගිය වසර තිහ පුරා විවිධ උත්සාහයන් අරන් තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් ඒකට සමත් වෙලා නෑ. රටේ ඉදිරි ප්‍රතිසංස්කරණවලදි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් ලෙස ඇතුළත් විය යුතුයි.