පංති තහනමට ලක් වූ පාසල් සිසුවා, විදුහල්පතිතුමාට විරුද්ධව මානව හිමිකම් යයි – මහනුවර වාර්තාකරු

විධිමත් විනය පරීක්ෂණයක් නොපවත්වා විදුහල්පතිවරයා විසින් දෙසතියක කාලයක් සඳහා තමන්ගේ පංති තහනම් කළ බව කියමින් මහනුවර අම්පිටිය බෙරවට්ස් විදුහලේ උසස් පෙළ හදාරන සිසුවෙකු අද දින (09) මහනුවර මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ලංකා ගුරු සංගමය ද සිසුවා සමඟ ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.
ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිටීමට නියමිත මෙම සිසුවා විද්‍යාලීය නර්තන කණ්ඩායම නියෝජනය කරන අතර පංති තහනම හේතුවෙන් තමන්ට පසුගිය 06 වැනි දින පැවැති අන්තර් පාසැල් පළාත් නර්තන තරඟාවලියට සහභාගි වීමට අවස්ථාව නොලැබුණේ යැයි සිසුවා පවසයි.
මෙම සිසුවාගේ පංති තහනම් කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබෙන්නේ විධිමත් විනය පරීක්ෂණයක් නොපත්වා බවත් 2005/17 චක්‍ර ලේඛණය අනුව විදුහල්පතිවරයා කළ යුත්තේ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් විනය මණ්ඩලය රැස්කර එහි තීරණය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීම බවත් ලංකා ගුරු සංගමයේ විධායක සභික රේණුකා මලියගොඩ මහත්මිය කීවාය.

මෙම පංති තහනම් කිරීම සම්බන්ධව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත්ව නොමැති බවත් අදාළ සිසුවාට පෙර වැරදි සම්බන්ධ චෝදනා කිසිවක් නොමැති බවත් ඇය පැවසුවාය.

මෙම සිසුවා පාසැලේ 10 වන ශ්‍රේනියේ සිසුවියක සමඟ විනය විරෝධී ලෙස හැසිරුණු බවට පරීක්ෂණ මගින් තහවුරු වූ බවත් පාසැලේ විනය මණ්ඩලය රැස්ව අදාළ දඩුවම තීරණය කළේ අනෙක් සිසුන්ටත් එමගින් ආදර්ශයක් ලබා දීමට බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී බෙරවට්ස් විදුහලේ විදුහල්පති ඩී.එන්.බී.එම් දසනායක මහතා පැවසීය.

පංති තහනම් කිරීම නිසා නර්තක තරඟාවලියට අදාළ සිසුවා සහභාගි නොකළත් ඒ වෙනුවට වෙනත් සිසුවෙකු සම්බන්ධ කළ බවත් පළාත් නර්තන තරඟාවලියේදී විද්‍යාලයට දෙවන ස්ථානය හිමිව තිබෙන බවත් විදුහල්පතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed