මහනුවර සිසුන් 20 දෙනෙකුට බඹර ප්‍රහාර – මහනුවර වාර්තාකරු

මහනුවර ත්‍රිත්ව විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු පිරිසක් විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පාපන්දු පුහුණු වීම් වල නිරත වන අතරතුර එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලත් සිසුන් 20 දෙනෙකු ඇතුළු 24 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම බඹර ප්‍රහාරය අද දින (08) පස්වරු 1.00 ට එල්ල වී තිබෙන අතර තුවාල ලත් සිසුන් ඇතුළු පිරිස ගිලන් රථ හා පෞද්ගලික වාහන වලින් රෝහලට රැගෙන ගොස් ඇත. කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ද බඹර ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලීසිය පවසයි.
විද්‍යාලීය ප්‍රාථමික අංශයේ ක්‍රීඩාංගණය අසළ පිහිටි විශාල ගසක බැඳ තිබූ බඹර කූඩුවකට රිලවෙකු කළ පහරදීමකින් බඹරුන් ඇවිස්සී තිබෙන බව දැන ගන්නට තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ තවත් සිසු පිරිසක් රෝහල් ගත නොකර දෙමව්පියන් විසින් පෞද්ගලික වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ලබා දීමට රැගෙන ගොස් ඇත.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්ට, වැඩිහිටි පුද්ගලයින්ට සිව් දෙනා අතරින් කිසිවෙකුත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed