ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරයි – බර්නාර්ඩ් එදිරිසිංහ

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි නුවරදී කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ගුණතිලක ඉරිදා අලුයම ඔහු ශ්‍රී ලංකාව බලා පිටත් විමට සුදානමින් රැඳි සිටි සෙන්ට්‍රල් සිඩ්නි හෝටලයේ දි අත්අඩංගුවට ගෙන තිබිණ.

31 හැවිරිදි වමත් පිති ක්‍රිඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලක  නිදහස් කිරීමට සඳුදා අයදුම්පතක් ඉදිරිපත් කළ නමුත් මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් එය ප්‍රතික්ෂේප කළේය.

උසාවියෙන් පිටතදී, ක්‍රිකට් ක්‍රීඩකයාගේ  නීතිඥ ආනන්ද අමරනාත් මෙම තීරණය “කලකිරීම් සහගත” ලෙස හැඳින්වූ අතර, තම සේවාදායකයා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටින බව පැවසීය.

කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ගුණතිලකට චෝදනා එල්ල වී තිබේ.

ඔහු සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඉදිරියේ  වීඩියෝ සබැඳියක් හරහා මාංචු සහ අළු ටී ෂර්ටයකින් පෙනී සිටී අතර අත්අඩංගුවට ගත් දින ඔහු  සරී හිල්ස් පොලිස් ස්ථානයේ රැඳවුම් භාරයේ තබා තිබිණ.

“ඔව් සර්,” ඔහුගේ වීඩියෝ සබැඳිය ක්‍රියා කරන්නේ දැයි විමසූ විට ඔහු උසාවියට ​​පැවසු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ගුණතිලක ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවට පැමිණි නමුත් කණ්ඩායමේ පළමු තරගයේදී පමණක් ක්‍රීඩා කළේය. එම තරඟයේ දි තුවාල ලැබු ඔහු සාමාන්‍යයෙන් සිදු කරන පරිදි ශ්‍රී ලංකාවට පෙරළා පිටත් නොකළ අතර අතිරික්ත ක්‍රිඩකයෙක් වශයෙන් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිඩා සංචිතය තුළ රඳවා තබා ගැනීම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි ලෙස විවේචනයට භාජනය විය.

ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු යහපත් කායික හා මානසික සුවයකින් සිටින බව  ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් පිටත මාධ්‍ය වෙත පැවසීය. “ ඔහුට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබි තිබෙන අතර  ඔව්  එයා හොඳින් ඉන්නවා” යැයි ඔහුගේ නීතිඥ  අමරනාත් කීවේය.

මේ අතර ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කර ඇති අතර දැනට ඔහුගේ ගමන් බලපත්‍රය ඔස්ට්‍රේලියානු බලධාරින් සන්තකයේ තබා ගෙන සිටින බැවින් නඩුව අවසන් තුරු ඔහුට රටින් පිට වීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන  සඳුදා නිවේදනයක් නිකුත් කරමින් තමන් විසින්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, ඔස්ට්‍රේලියාවේදී අධිකරණයකදි  ඔහු වරදකරු වුවහොත් ඔහුට  දඬුවම් කරන බවත් කියා තිබිණ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ එවැනි [චෝදනා කරන ලද] ඕනෑම හැසිරීමක් සඳහා ‘ශූන්‍ය ඉවසීමේ’ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවත් අවධාරණය කරන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ තවදුරටත් සඳහන් විය.

ධනුෂ්ක  ගුණතිලක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ටෙස්ට් තරග අතලොස්සකට ක්‍රීඩා කර ඇති ක්‍රිඩකයෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *