ගුරුවරුන්ගේ සාරිය වෙනස් වෙන්නේ නැහැ අධ්‍යාපන ඇමැති කියයි – මහනුවර වාර්තාකරු

මෙරට සංස්කෘතිය හා බැඳී පවතින සාරිය හා ඔසරිය වෙනුවට ගුරු ගෞරවයට හානි වන වෙනත් කිසිදු ඇඳුමක් ගුරු වෘත්තිකයින් සඳහා හඳුන්වා නොදෙන බව අධ්‍යාපන ඇමැති,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇතිව තිබෙන්නේ එක් ගුරු සංගමයක නායකයෙකුට පමණක් බවත් එම යෝජනාවට මහ සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ල වී තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද (07) පැමිණි අවස්ථාවේ දී අධ්‍යාපන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධව යෝජනා කරන ඇතැම් පිරිස් ඒ සඳහා උදාහරණයක් ලෙස ෆින්ලන්තය යොදා ගනු ලබන බවත් වසරේ මාස හයක කාලයක් අඛන්ඩව හිම පතිති වන ආකාරයේ අධික ශීත කාලයක් පවතින එම රටේ ක්‍රියාත්මක ගුරු ඇඳුමේ වෙනස් කම් ලංකාවට යෝජනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ප්‍රේමජයන්ත මහතා කීය.
මෙම යෝජනා කරන පිරිස් අවධානය යොමු කළ යුත්තේ ෆින්ලන්ත ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධව නොව එම රටේ ක්‍රියාත්මක සාර්ථක අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව බව ද හෙතෙම අවධාරණය කළේය.
සිංහල,දෙමළ,මුස්ලිම් භේදයකින් තොරව සියලු ගුරුවරියන් පාසැල් එනවිට සාරිය හෝ ඔසරිය අඳින බවත් ඇඳුම වෙනස් කිරීමේදී මෙරට සංස්කෘතිය පිළිබඳ නොතකා තීන්දු තීරණ ගත නොහැකි බවත් අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.