අඩසියවසකදී මිහිතලයේ ජීවත්වූ වනජීවී ගහනයෙන් සියයට 69ක් වැනසී ගිහින් … සුපුන් ළහිරු ප්‍රකාශ්

සොබාදහම විසින් තම නොහික්මුණු පුත්රයා වන මිනිස් ජීවියා මේ මිහිතලයේ ජනිත කළ දා සිට මේ දක්වා ඔහු විසින් නසා වනසා දැමූ අනෙකුත් ජීවී විශේෂ ප්රමාණය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. පසුගිය වසර මිලියන ගණනක් තුල මේ මිහිතලයේ ජීවත්වූ විවිධ සත්ත්ව කාණ්ඩ ස්වභාවික හේතු නිසා වඳවී ගිය අවස්ථා නැතුවා නොවේ. එවැනි තත්වයන් නොවැලැක්විය හැකි නමුත් නොයෙකුත් මිනිස් ක්රියාකාරකම් නිසා මිහිතලයෙන් සමුගෙන ගිය සහ මේ මොහොතේද සමුගෙන යමින් සිටින වනජීවීන්ට එම ඉරණම අත්කරදීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුත්තේ මිනිසාය. එම තත්ත්වය කොතරම් දරුණුද යත් පසුගිය අඩසියවස තුළ මෙම මිහිතලයේ ජීවත්වූ ජීවී විශේෂ ගහනයෙන් සියයට හැට නමයක් (69%) මිහිතලයෙන් තුරන්වී ඇති බව ලෝක වනජීවී අරමුදල (WWF – World Wide Fund For Nature) මගින් පසුගියදා තම නවතම වාර්තාවක් මගින් අනාවරණය කෙරිණි.

ගෝලීය ජෛව විවිධත්වයේ ප්රවණතා සහ මිහිතලයේ යහපැවැත්ම පිළිබඳ ලෝක වනජීවී අරමුදල මගින් සිදුකරණ පුළුල් අධ්යයනයක් වන ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 (The Living Planet Report 2022) වාර්තාවේ නවතම සංස්කරණය නොබෝදා එළි දැක්විණි. මෙම ප්රමුඛතම ගෝලීය ප්රකාශනයට අනුව 1970 සිට මේ දක්වා ජීවී විශේෂ වල ජනගහනයෙන් 69% ක පහත වැටීමක් හෙළි කරතිබේ. විවිධ සංරක්ෂණ ප්රයත්නයන් මගින් මෙම මිහිතලයේ ජීවත්වන ජීවී විශේෂ ආරක්ෂා කරගැනීමට යම්කිසි පිටිවහලක් ලැබුණද සිදුවෙම්න් පවතින මෙම මහා විනාශය ආපසු හැරවීමට නම් හදිසි ක්රියාමාර්ග අත්යාවශ්ය බව එමගින් අවධාරණය කර තිබේ.

පෘථිවියේ ජීවයේ විවිධත්වය වන ජෛව විවිධත්වය මිනිස් යහපැවැත්ම සඳහාද අත්යවශ්ය සේවාවන් අපට සපයන අතර මිනිසාගේ මූලික අවශ්යතා වන ආහාර, ඖෂධ හා ඇඳුම් ඉන් කිහිපයකි. නමුත් අද වන විට අපට එම ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින්නේ ඉතා භයානක වේගයකිනි. ශාක හා සත්ත්ව විශේෂ මිලියනයක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ලෝකයේ කොරල්පරවලින් අඩක් අපට අහිමි වී හමාරය. ලෝක වනජීවී අරමුදල අවධාරණය කරන්නේ ගතවන සෑම විනාඩියකටම පාපන්දු පිට්ටනි 27 ක් තරම් වන වනාන්තර ප්රමාණයක් අපට අහිමි වෙමින් ඇති බවය. වනාන්තර අපගේ දේශගුණය ස්ථාවර කරන අතර ඒවා නොමැති වුවහොත් ගෝලීය උෂ්ණත්වය වර්තමානයේ පවතින ප්රමාණයට වඩා සෙල්සියස් අංශක 0.5 කින් උණුසුම් වනු ඇත. නමුත් සෑම වසරකම පෘතුගාල භූමියේ ප්රමාණයට සමාන වනාන්තර ප්රමාණයක් අපට අහිමි වේ. වනාන්තර විනාශය මගින් පෘථිවි වායුගෝලයේ  හරිතාගාර වායු සාන්ද්රණය ඉහළ යන අතර නියඟයන් වැඩි වීමට සහ උණුසුම් වියළි දේශගුණයන් ඇතිවීමට මෙම තත්ත්වය හේතු වේ. එය මිලියන සංඛ්යාත ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය අවදානමට ලක් කරයි.

වර්තමාන සහ අනාගත පරම්පරාවේ යහපැවැත්මට තර්ජනයක් වන මානව ප්රේරිත දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීමේ ද්විත්ව, අන්තර් සම්බන්ධිත හදිසි අවස්ථාවන්ට අද දවසේ අපි මුහුණ දෙමින් සිටිමු. අපගේ අනාගතය ජෛව විවිධත්වය සහ ස්ථාවර දේශගුණයක් මත තීරණාත්මක ලෙස රඳා පවතින බැවින්, ස්වභාවධර්මයේ පරිහානිය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වන්නේ කෙසේදැයි අප අවබෝධ කර ගැනීම අත්යවශ්ය වේ. මේවා එකිනෙකින් වෙන් නොවන අතර එකම කාසියේ දෙපැත්ත බඳුය. එබැවින් මෙම සම්බන්ධතා වල ස්වභාවය, එමගින් මිනිසුන්ට සහ ජෛව විවිධත්වයට ඇති කරන බලපෑම්, ධනාත්මක, සාධාරණ සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම, යන කරණු මෙවර ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 වාර්තාවේ ප්රධාන තේමාවන් වේ.

ගොඩබිම, මිරිදියේ සහ සාගරයේ බොහෝ ශාක හා සත්ව විශේෂවල ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම හෝ ඛණ්ඩනය කිරීම මෙන්ම ඉඩම් පරිහරණ රටාවේ වෙනස් කිරීම් තවමත් ස්වභාවධර්මයට ඇති විශාලතම තර්ජනයයි. කෙසේ වෙතත්, මිහිතලයේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 ක සීමාවේ පවත්වාගෙන යාමට අපට නොහැකි වුවහොත්, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාස ජෛව විවිධත්වය අහිමි වීමේ ප්රධාන හේතුව බවට පත්වීමට ඉඩ ඇත. උෂ්ණත්වය ඉහළ යාම දැනටමත් ඇතැම් ජීවී විශේෂ සමූලඝාතනය වීමට මෙන්ම සමස්ත විශේෂවල වඳවීයාමට ප්රධාන හේතුවයි. මිහිතලය උණුසුම් වන සෑම ඒකකයකින්ම මෙම විනාශය ඉහළ යාම සහ ඒවායින් මිනිසුන්ට ඇති කරන බලපෑම වැඩි වීම අපේක්ෂා කිරීමට අපට සිදුවේ.

දැනට ප්රකාශයට පත්කර ඇති වඩාත්ම විස්තීර්ණ සොයාගැනීම් සහිත මෙම ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022 සංස්කරණය මගින් අනාවරණය කරන ආකාරයට ලොව පුරා නිරීක්ෂණය කරන ලද වන ජීවීන් ගහනයන්ගෙන් 69% පමණ 1970 – 2018 කාලසීමාව තුළ පහත වැටී තිබේ. ලතින් ඇමරිකාවේ තත්ත්වය වඩාත් භයානක වන අතර එම ප්රමාණය වනජීවී ගහණයේ 94% ක පරිහානියකි. තවද අප්රිකාවේ 66% කින්, ආසියා පැසිපික් කලාපයේ 55% කින්, උතුරු ඇමරිකාවේ 20% කින් සහ යුරෝපයේ සහ මධ්යම ආසියාවේ 18% කින් වනජීවී ගහනයන් පහළ ගොස් තිබේ. විවිධ සත්ත්ව කාණ්ඩ සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මිරිදිය විශේෂ වලට වන අතර අදාළ කාලසීමාව තුල මිහිතලයේ ජීවත්වූ මිරිදිය විශේෂ ගහනය 83% කින් පහළ වැටී තිබේ.

මෙම අධ්යයනය මගින් අප අවධාරණය කරගතයුතු සත්ය වන්නේ අප ස්වභාවික ලෝකය මත ඇතිකරන පීඩනය පෙරලා තීව්ර වන ස්වභාවික අර්බුදයන් රැසක් අප වෙතම එල්ල කරන බවයි. එමඟින් දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුහුරුවීම ඇතුළු තීරණාත්මක සේවාවන් සැපයීමේ හැකියාව අඩපණ කරයි. අපගේ සොබාදහම විනාශ කිරීම වසංගතවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරන අතරම වඩාත් අවදානම් සමාජ කණ්ඩායම් මත වැඩි බලපෑම ඇති වේ. එබැවින් අප සිදුකළ යුත්තේ මෙම අවධානමෙන් මිදීමට අද අදම වඩාත් සක්රියව ක්රියා කිරීමයි. අපට ක්රියාත්මක වීමට තවමත් කාලය ඇති නමුත් කඩිනම් ක්රියාමාර්ග අත්යාවශ්ය බව අවසන් වශයෙන් අවධාරණය කළ යුතුය.

සම්පූර්ණ වා ර්තා ව කියවීමට: https://wwflpr.awsassets.panda.org/downloads/lpr_2022_full_report.pdf

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *