21 ක්‍රියාත්මකයි – කතානායක මහින්ද යාපා

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුලු තවත් විධි විධාන කිහිපයක් ම ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 31 වෙනිදා සිට බලාත්මක කෙරෙන බව එම කෙටුමිපතට අත්සන් තබමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තුව විසින් මෑතක දී අනුමත කරතිබෙන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් 21වන ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් අද දින අපි බලාත්මක කෙරුවා. අද දින සිට 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැටියට තමයි ඒ ව්‍යවස්ථාව යන්නේ. ඒ අනුව ගන්න තිබෙන පියවරවල් අපි නුදුරු අනාගතයේදි ගන්න බලාපොරොත්තු වෙනවා.” යැයි කෙටුම්පතට සිය සහතිකය ලබාදීමෙන් අනතුරුව කතානායකවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.
ඒ අනුව, විශේෂයෙන් ම කොමිසන් සභා පත්කිරීම සහ ඊට ආශ්‍රීතව පැවරි තිබෙන රාජකාරි කිහිපයක් ම ජනාධිපතිවරයා , අගමැතිවරයා සහ විපක්‍ෂනායකවරයා ඇතුලු පිරිස් සමග එක්ව පත්වීම් සිදුකර ස්වාධීන කොමිසන් සභා නැවත ස්ථාපනය කරන්නට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු මස 10  වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර, සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස  20 සහ 21 යන දිනවල පැවැත්වුණි.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස  20 සහ 21 යන දිනවල පැවැත්වුණි.
දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ඉන්පසුව අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන්  අනතුරුව පැවැති තෙවනවර කියවීමේ  ඡන්ද විමසීමේදී  ඊට පක්ෂව ඡන්ද 174 ක්ද  විපක්ෂව  ඡන්දයක්ද හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *