සම්බන්ධීකරණ කමිටු රැස්වීමට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් නොපැමිණීම කණගාටුවට කරුණක් – රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රශ්න අඩුපාඩු ගැන කතා කරන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් නොපැමිණීම කණගාටුවට කරුණක් බවත් එවැනි නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගන්නවා යයි ඇල්පිටිය ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඇය එසේ පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගේ කැඳවීමෙන් ඉකුත් දා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යතුමිය ප්‍රතිපාදන සත පහක්වත් ලබා නොගෙන මා එංගලන්තයේ සංවිධානයක් හරහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 500 ක් තෝරාගෙන පළමු වසරේ සිට උසස් පෙළ දක්වා මසකට පවුම් 30 බැගින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

පෝලිම් යුගය නැති කර වැටුනු රට ගොඩනගන්නට ප්‍රයත්න දරන විට බලලෝභී, අවස්ථාවාදී කුහක පිරිසකගේ අතකොලු බවට පත්වෙමින් මේ රටේ ඉතාම සුළු පිරිසක් පෙළපාලි විරෝධතා හා උද්ඝෝෂණ පවත්වමින් රට අස්ථාවර කර පාලන බලය ලබා ගැනීමට උත්සහ කරනවා.

තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය ජාතික මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල  ප්‍රගතිය හා ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමෙන් බහු ආර්ථික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව හා ග්‍රාමීය ආර්ථික කමිටුවේ ක්‍රියාකාරිත්වයද වේගවත්ව ඉදිරියට  ගෙනයාමට පියවර ගන්නා ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

ඇල්පිටිය ආසනයේ සෞඛ්‍යය,අධ්‍යාපන,ගොවිජන,වැවිලි කර්මාන්ත,ඉඩම් හා පරිසර ,ප්‍රවාහන හා මහාමාර්ග, විදුලිය, ජලසම්පාදන හා නගර සංවර්ධනය, නිවාස ,ශ්‍රී ලංකා ටෙලිකොම් ආදී සේවාවන් විධිමත් හා කාර්යක්ෂම අයුරින් සිදු කිරීමටත්,ගැටළු පැනනැගී ඇත්නම් ඒවා කඩිනමින් විසීඳීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නාය.

මේ අවස්ථාවට ඇල්පිටිය කොට්ඨාශයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ,ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed