මැතිවරණ විනිශ්චය අධිකරණයක් පිහිටුවීමට සූදානමක් – නිමල් කොළඹිස්ස මහනුවර

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් විමර්ශනය සඳහා ඉදිරියේදී මැතිවරණ විනිශ්චය අධිකරණයක් පිහිටුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ සමයේදී  නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගත වන දීර්ඝ කාලය සැලකිල්ලට ගනිමින් මෙම නව තීරණයට එළැඹි බවත් එමගින්  ලබාදෙන තීන්දු විශ්වාසනීය වනු ඇතැයි සභාපතිවරයා කීවේය.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (01) පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ඉකුත් මැතිවරණයකදී එම නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සඳහා නඩු පවරන්නේ ද නැද්ද යන තීරණය ලබා ගැනිම සඳහා වසර පහක කාලයක් ගත් වූ බවත් ඒ අයුරින් ගතවන දීර්ඝ කාලය හේතුවෙන් මැතිවරණ නීති සම්බන්ධයෙන් මහජන විශ්වාසය පළුදු විය හැකි යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් අදාල පැමිණිලි විභාග කොට තීන්දු ලබා දීම සිදුකළ හැකි යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඡන්ද ප්‍රකාශ කිරීමේ දී ඡන්ද දායකයන් නියැලෙන වෘත්තීන් අනුව පුද්ගලයන් ලක්ෂ දහයකට පමණ ඡන්දය ලබාදීමට නොහැකි බැවින් පුර්ව ඡන්ද ප්‍රකාශ කිරීම, විශේෂ ඡන්ද පොල පැවැත්විම සහ ජංගම ඡන්ද පොළ පැවැත්වීම වැනි විකල්ප ක්‍රම වෙත යොමුවීම සාර්ථක යැයි ද සභාපතිවරයා කීවේය.

මැතිවරණයක් පැවැතිය ද සෞඛ්‍ය සේවය, අධිවේගී මාර්ග, ගුවන් සේවා, සිරකරුවන්, විදෙස්ගත ශ්‍රමිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුලු විවිධ වෘත්තීන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි නොවන බවකී සභාපතිවරයා තැපැල් ඡන්ද මගින් ආවරණය නොවන ඡන්ද හිිමියන් සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක, මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එච්.ඩී.එන්.එස්.ප්‍රනාන්දු , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ඇතුලු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed