මෙවර අයවැයට කුමක් සිදුවේවිද? – මහනුවර වාර්තාකරු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව හා මිත්‍ර රටවල් ලබාදෙන ආධාර හා වැඩපිළිවෙළ අන්තර්ගත කරමින් මෙවර අයවැය ලේඛණය සකස් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සිදු කෙරෙන සාකච්ඡා සාධාරණ අයුරින් සිදුව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවේ අවසන් අදියරේ වැඩකටයුතු නිම වෙමින් තිබෙන බවද ඒ මහතා කීය.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (29) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අදාළ සාකච්ඡා මගින් සකස් කෙරෙන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අයවැය ගෙන එන බවද හෙතෙම අවධාරණය කළේය.
රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවත්වන සාකච්ඡා මගින් සකස් කරන වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කෙරෙන බවද ගුණවර්ධන මහතා කීවේය.
අදාළ සාකච්ඡා සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනපතිවරයා ද මහ බැංකු අධිපතිවරයා ද ඇතුළු පිරිසක් සහභාගි වන බවත් රටට ණය ලබාදෙන ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් බවත් කී අගමැතිවරයා රට පත්ව තිබෙන සැබෑ අර්බුදය ගැන කතා නොකර ඇතමුන් කුමක් හෝ දෙයක් අල්ලා විවේචන ඉදිරිපත් කිරීමට බලා සිටින බවද ප්‍රකාශ කළේය.

බදු මගින් රජයට ලැබුණු ආදායම් වලට වඩා රජය පවත්වාගෙන යාම සඳහා වන වියදම් වැඩි බවත් මේ නිසා යම් ප්‍රමාණයකට බදු ඉහළ දැමීමට සිදු වූ බවත් කී ඒ මහතා ජනතාවට සහන ලබා දීමට සෑම අවස්ථාවකම රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

ජනතාවට අවශ්‍යය ගෑස්,ඉන්ධන,විදුලිය ලබා දීමට රජයට හැකියාවක් නැතැයි ඇතමුන් කළ චෝදනා අද පුස්සක් වී තිබෙන බවත් මේ ආකාරයෙන්ම සෙසු ප්‍රශ්න ද ක්‍රමානුකූලව නිමා කරන බවත් අගමැතිවරයා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed