හක්කිඳ දූපත් ආශ්‍රිත ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කරලා – මහනුවර වාර්තාකරු

මහනුවර මහ නගර සභාවේ හා රජයේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ගේ සහය ලබා ගනිමින් ගන්නෝරුව හක්කිඳ දූපත් ආශ්‍රිත අධි ආරක්ෂිත පාරිසරික කලාපයේ ඉඩම් වලට බලවත් ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ පෞද්ගලික නම් වලට ව්‍යාජ ඔප්පු සකස් කරගෙන ඇතැයි මධ්‍යම පරිසරය සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු එස්.පී ලියනාරච්චි මහතා පවසයි.

මේ බව තහවුරු කිරීම සඳහා අවශ්‍යය ලිපි ලේඛන තමන් සතුව තිබෙන බවත් අවශ්‍යය ඕනෑම අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කීය.

මහනුවරදී අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ලියනාරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පාරිසරික කලාපය දිනෙන් දින විනාශයට ලක්වෙමින් තිබෙන බවත් එයට මහනුවර මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන් ඍජුව වගකිව යුතු බවත් ඒ මහතා පැවසුවේය.

මෙම ඉඩම් වලට අදාළ ලිපි ලේඛණ නගර සභාවෙන් අතුරුදන්ව ඇතැයි ද ලියනාරච්චි මහතා කීය.
හන්තාන හා මහවැලි ගඟ ආශ්රිතව විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරන අනවසර ඉදිකිරීම් හා ගොඩ කිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ බොහෝ නඩුකරයන් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඉවත් කර ගැනීමේ සැළසුමක් ඇතැයි මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම කඳුකරය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අමිත් සේනානායක මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් පැවරූ ඇතැම් නඩු ඉල්ලා අස්කර ගැනීමට කැමැති බව දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදුන් ලිපි විත්ති පාර්ශව විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා පසුගිය කාලයේදී දක්නට ලැබුණු බවත් පරිසරය රකින්ට සිටින ඉහළ නිලධාරීන් හා පරිසරය විනාශ කරන පුද්ගලයින් අතර ඇති සම්බන්ධතාව ඉන් මනාව පැහැදිලි වන බවත් හෙතෙම අවධාරණය කළේය.
හන්තාන ජලපෝෂක ප්‍රදේශය ආරක්ෂා කිරීමේ අරමුණින් පත්කළ හන්තාන කළමනාකරණ කමිටුවේ මූලික වගකීම විය යුත්තේ අදාළ පරිසරය ආරක්ෂා කර ගැනිම වුවත් එහි සභාපතිවරයා ද ප්‍රශ්න වලින් කර අරින ස්වරූපයක් දක්නට ඇතැයිද ඒ මහතා කීවේය.

ජාතික පාරිසරික පනතේ නියමයන් හා කොන්දේසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා කටයුතු කර තිබෙන බවත් හන්තාන ආරක්ෂිත ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීම සඳහා දේශපාලනඥයෙකුගේ සහය ද ලැබී තිබෙන බවත් සේනානායක මහතා පැවසුවේය.

මෙවන් දූෂිත ව්‍යාපෘති ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ ඇතැම් නිලධාරීන් ලබාදෙන අවම ලන්සුව රුපියල් මිලියන හයක් බවට කරුණු හෙළිවී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා අවශ්‍යය අනුමෑතින් නොගනෙ නීතියට පිටින් ගොස් නකල්ස් රක්ෂිතයේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ ගැන විමසූ අවස්ථාවේ සභාපතිවරයා තමන් ඊට අදාළ නීති නොදන්නා බව ප්‍රකාශ කළ බවත් කී ඒ මහතා පරිසර අධිකාරියේ සභාපතිවරයා පරිසර නීති නොදන්නා බව පැවසීම හාස්‍යයට කරුණක් යැයිද අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ද මෙහිදී කතා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *