දෑත් ගැට ගසා ගෙදර තිබු භාණ්ඩ සොරකම් කරලා – මහනුවර වාර්තාකරු

මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් අම්පිටිය වැවතැන්න පොල්වත්ත ප්‍රදේශයේ නිවසක හුදෙකලාව සිටි 64 හැවිරිදි කාන්තාවකගේ දෑත් ගැටගසා කටට පාන්කඩ ඔබා ගෙළට පිහියක් තබා මරණීය තර්ජන කර නිවසේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සොරාගෙන ගිය බව කියන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තිදෙනෙකු ගෙන් සමන්විත කොල්ල කල්ලිය අද (20) අලුයම නිවසට ඇතුළු වී රන් භාණ්ඩ, රෙදි සෝදන යන්ත්‍රය,ගෑස් සිලින්ඩරය,ගෑස් ලිප,පිත්තල බඩු ඇතුළු භාණ්ඩ රැසක් සොරාගත් බව නිවසේ හිමිකාරිය වන සිරියා නානායක්කාර මහත්මිය පවසයි.
කොල්ලකරුවන් දෑත් බැඳ දැමීමෙන් පසු තමන් පැළඳ සිටි කරාබු දෙකද ගලවා ගත් බව නානායක්කාර මහත්මිය පොලීසියට පවසා ඇත. මෙයට ප්‍රථම මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය සිව් මසක කාලය තුළ කාන්තාවන් පස් දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සියලු ඥාතීන් විදේශ ගතව සිටින බව පොලීසිය පවසයි. මේවන විට අම්පිටිය ප්‍රදේශයේ නිවාස රැසක් සොරුන් විසින් බිඳ ඇතැයි මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චමින්ද සේනාරත්න මහතා කීය.
මෙයට පෙර ත්‍රිරෝද රථයක් ද කිසියම් පිරිසක් පැහැරගෙන ගියත් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් මෙම කොල්ලකෑම් හා සොරකම් සිදුකරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මෙම කොල්ලකෑම් හා සොරකම් සම්බන්ධව මහනුවර මූලස්ථාන පොලීසියට කොතෙක් පැමිණිලි කළත් සාධාරණයක් ඉටු නොවීම නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනාරත්න මහතා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *